ඌව උදානය යටතේ සියඹලාණ්ඩුව දනකිරිය ගමේ පවුල් 150 කට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක වියදමින් ඉදි කළ විදුලි බල යෝජනා ක්‍රමය විවෘත කිරීමට ගිය ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දේශපාලන අලකලංචියකට මුහුණ පෑවේය.
පසුගිය සිකුරාදා සවස පහට පමණ එහි ගිය මහ ඇමැතිට විදුලිය විවෘත කිරීමට හැකි වුයේ පසුදා අලුයම එකට පමණය.එතෙක් අටපැයක් ගමේ රැදී සිටීමට ඔහුට සිදු වුයේ විදුලිය විසන්ධිකර තැබු හෙයිනි.
අම්පාර විදුලිබල මණ්ඩලයෙන් විදුලි සේවකයන් පැමිණ නොසීටිම නිසා මහ ඇමැති මෙසේ රස්තියාදුවට ලක් විය. මහ ඇමැති විදුලිබල මණ්ඩල ලේකම්ට දුරකතනයෙන් කතා කිරීමෙන් පසු අම්පාරෙන් පැමිණි විදුලි බලමණ්ඩල සුළු සේවකයින් පැවසුයේ තමන් ට්‍රාන්ස්‍ෆෝමර ඇතුළු විදුලි උපකරණ රැගෙන ආවත් ප්‍රදේශයේ දේශපාලන බලයක් තමන් ආපසු හරවා යැවු බවයි.
මේ වැඩපිළිවෙළට එරෙහිව පුද්ගලයින්ගේ නම් ගම් කියමින් කුපිත වු ජනතාව සන්සුන් කිරීමට මහ ඇමැතිට මහත් වෙහෙසක් දැරීමටද සිදු විය.ඔවුන් පැවසුයේ මහ ඇමැතිගේ මොණරාගල සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලනඥයින්ගේ රහස් බලවේග මතු වී ඇති බවයි.
කවර බලවේග පැමිණියත් තමා පසුබට නොවන බවත් නිලධරයන් සිය රාජකාරීය හරියට ඉටුකරන බවත් එසේ නොකරන අයට සමාවක් නොලැබෙන බවත් මහ ඇමැති එහිදී කියා සිටියේය.

