ඌව පළාත් සභා මන්ත්‍රීවරු 34 එකවර රුසියා සංචාරයකට යාමේ සුදානමක්


එෆ්.අස්ලම්

සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වැය කරමින් ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීන් 34 දෙනාම එක්වරම රුසියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.


එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීන් දෙදෙනාම මහජන මුදල් වලට මගින් යන මෙම සංචාරයට සහභාගී නොවන බවත් මෙය ජනතා මුදල් සූරාකෑමක් බවත් විද්‍යාරත්න මහතා පවසයි.

මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන පළාත් සභාවේ සංවර්ධන කටයුත්තක් සදහා මධ්‍යම රජය විසින් වෙන්කරන මූල්‍ය ප්‍රතිපාදනයක් මගින් ලබාගන්නා ලෙසට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා වෙත උපදෙස් දී තිබෙන  ඇති බව සඳහන් කළේය.

රුසියාවේ මහාමාර්ග මංමාවත් යටිතල පහසුකම් ආදී සංවර්ධන කාර්යන් අධ්‍යනය කිරීමට යැයි කියමින් මෙම සංචාරය සිදුකරන බවත් මෙම සංචාරයේ සංවිධාන කටයුතු (ඒසියන් එවන්ට් මැනේජ්මන්ට්) නැමති සමාගමක් හට බාරදී තිබෙන බවත් කී මන්ත්‍රීවරයා පළාත් සභාවේ 2019 වසර සදහා වූ අයවැයට පෙරාතුව මෙම සංචාරය සිදුකිරීමට සැලසුම් කර ඇති බවද පෙන්වා දුන්හ.

පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට ආසන්න මොහොතක පළාත ආර්ථික හා සංවර්ධන අතින් වැටී තිබෙන මොහොතක පළාත් සභාවේ සියළුම සභිකයින්ද කැටුව මහජන මුදල් වැය කරමින් විදේශයේ විනෝද සංචාර කිරීම අනුමත කළ නොහැකි බවද කීය.

එමෙන්ම අධ්‍යන චාරිකාවක් නම් විෂය භාර අමාත්‍යවරුන් හා නිලදාරීන් කිහිප දෙනෙකු පමණක් සහබාගී විය යුතු බවද කියා සිටි මන්ත්‍රීවරයා මෙය අධ්‍යන සංචාරයක් නොව විනෝද සංචාරයක් බවද සදහන් කළහ.

මෙම සංචාරය සම්බන්ධයෙන් වැය වියදම් ඇස්තුමේන්තු මුදල් හා තොරතුරු සම්බන්ධයෙන් තමන් 2018 ජූලි 18 වනදා පළාත් ප්‍රධාන ලේකම්ගෙන් ලිඛිත විමසීමක් කළ බවත් ඔහු විසින් පිළිතුරු වශයෙන් සදහන් කර එවා ඇත්තේ විදෙස් සංචාරයේ න්‍යාය පත්‍රය පමණක් තමාට ලැබී ඇති බවය.