(බදුල්ලේ පාලිත ආරියවංශ සහ ලූණුගල ප‍්‍රසන්න පත්මසිරි)
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැලිමඩ ඩයබරා සිට ඇල්ල කරඳගොල්ල දක්වා ඉදිවන උමං මාර්ගයේ ඇල්ල - කරඳගොල්ල ප‍්‍රදේශයේ විශාල ජල කාන්දුවක් සිදුවීමත් සමඟ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ තවත් නිවාස හා ගොඩනැගිලි විනාශ වෙමින් ජල ප‍්‍රශ්නය ද උග‍්‍රවී ඇති බව තමා කළ නිරීක්ෂණයක දී හෙළිවූ බව ඌව ප‍්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා පවසයි.
උද්ගතවී ඇති තත්ත්වය සොයා බැලීම සඳහා ඌව පළාත් ප‍්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා (17) දා නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර මෙහි දී මහ ඇමැතිවරයා සහ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉංජිනේරුවන් අතර සාකච්ඡාවක දී අනාවරණය වී ඇත්තේ පැයකට ජල ලීටර් ලක්ෂ 36ක් බැගින් දිනකට ජල ලීටර් ලක්ෂ 864ක් මෙම උමං මාර්ගය ඔස්සේ කාන්දුවී ඉවතට ගලා යන බවයි.
උමාඔය උමග හේතුවෙන් ප‍්‍රදේශයේ සිදුවී ඇති දේපළ හානිය, ජනතාවගේ ආදායම් මාර්ග නතරවීම හා මානසික පීඩනය ආදී කරුණු පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ මහ ඇමැතිවරයා මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් බාර ඉරාන සමාගමේ බලධාරීන්ට කියා සිටියේ ඉතා ඉක්මනින් මේ තත්ත්වය පිටුදැකීමට පියවර ගත යුතු බවයි.
පවතින තත්ත්වය හමුවේ ඉදිකිරීම් ද ඇනහිට ඇති අතර මෙම ජල කඳ පාලනය කිරීම සඳහා තවත් මාසයක්වත් ගතවිය හැකි බව ඉංජිනේරුවන් පැවසූ අතර ප‍්‍රධාන ඇමතිවරයා කියා සිටියේ වෙනත් දියුණු රටකින් හෝ තාක්ෂණික උපදෙස් ලබාගෙන මෙම ජල ප‍්‍රවාහය නතර කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.
මෙම උමගේ තවත් කිලෝ මීටර් පහමාරක පමණ ඉදිකිරීම් ඉතිරිව ඇති බවත් ඉදිරි ඉදිකිරීම්වලදී ද තවත් හානි සිදුවිය හැකි බවත් මෙහි දී අනාවරණය විය.
ව්‍යාපෘතියේ උමං මාර්ගය බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ සිදුවී ඇති හානිය ද ප‍්‍රධාන ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ඌව පළාත් සභා මන්ත‍්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්විය.
උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති මහින්ද අමරවීර මහතා දැනුම්වත් කර ජනතාවට ඉක්මන් සහනයක් ලබාදීමට පියවර ගන්නා බව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා මෙහි දී මාධ්‍යවේදීන්ට පැවසීය.
මේ අතර උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගයේ බලපෑමෙන් බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හා ගොඩනැගිලි 2600ක් පමණ මේ වන විට විවිධ මට්ටමින් හානියට පත්වී ඇති බව බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය.
මින් හැත්තෑවක් පමණ ඉකුත් මාසය තුළ දී හානියට පත් වූ බව කී ප‍්‍රාදේශීය ලේකම්වරයා බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ජල ළිං 2,400ක් පමණ සිඳී ගොස් ඇති බව ද කීය.
ප‍්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිට සියලූම ළිං, ඇළ දොළ සහ උල්පත් සිඳී ගොස් ඇති බවය.
පවතින තත්ත්වය හමුවේ බණ්ඩාරවෙල ජල ප‍්‍රශ්නය තවත් උග‍්‍රවී ඇති බවත් දැනට මසකට දෙවරක් සපයන ජලය තවදුරටත් සීමා කිරීමට සිදුවන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඌව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මහතා පැවසීය.

