උපාධිය ඇරැඹී මාස 10කට පසු ශ්‍රියානි කුලවංශ පැමිණියාට විරෝධය


තරිඳු ජයවර්ධන

ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලවට (සෙඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය) නියමිත ක්‍රමවේදයට පරිබාහිරව  අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ශාඛාවේ මළල ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරිනියක ලෙස කටයුතු කරන ශ්‍රියානි කුලවංශ මහත්මිය බඳවා ගැනීමට විරෝධය දක්වමින් එම පාඨමාලාව හදාරණ උපාධි අපේකෂකයෝ ඊයේ (29) සහ අද (30) දේශනවලින් ඉවත්වූහ.

ශ්‍රියානි කුලවංශ මහත්මිය උපාධි පාඨමාලාවට බඳවා ගැනීමට විරෝධය දක්වමින් ඔවුන් පෙත්සමක් අත්සන් කර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ට යවා තිබේ. එහි පිටපත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට සහ සියලු අධ්‍යාපන වෘත්තීය සමිතිවලට ද යොමු කළ බව එහි ආරංචි මාර්ග කියයි.

2017 නොවැම්බර් 25 වැනිදා ආරම්භ කළ උපාධි  පාඨමාලවට ශ්‍රියාණි කුලවංශ මහත්මිය සහභාගී වී ඇත්තේ ඊයේ (29) දින සිට බවත්, මෙම පාඨමාලව සඳහා බඳවා ගැනීම් කරනු ලැබුවේ ගැසට් පත්‍රයක් සහ පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවා විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව බවත් උපාධි අපේකෂකයන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට යැවූ පෙත්සමේ සැඳහන් වේ.

මෙම පාඨමාලාව අරඹා වසරක පමණ කාලයක් ඉක්ම ගොස් ඇති බව ද,  විභාගය සඳහා පැමිණීම සියයට 80ක්වත් සම්පූර්ණ කිරීමට නොහැකි මූලික සුදුසුකම් සපුරා නැති අයකු පාඨමාලාවට ඇතුළත් කර ගැනීම අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ අවමානයක් බව ද, එය පාඨමාලාවේ ගුණාත්මක භාවයට හානියක් බව ද  එම ලිපියේ සඳහන් කර තිබේ.

ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ශ්‍රියානි කුලවංශගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීමට අවශ්‍ය නම් ඇයට සම්මානයක් වැනි දෙයක් ප්‍රධානය කළ යුතු බවයි. මෙවැනි උපාධි පාඨමාලාවකට නියමිත ක්‍රමවේදයට පිටින් ඇය ඇතුළත් කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී බව ද ඔහු කීවේය. ජාතික අධ්‍යාපන ආයතනයෙන්  ක්‍රීඩා සම්බන්ධයෙන් අධ්‍යාපනවේදී උපාධියක් ලබා දීම ආරම්භ කළේ වසර 22කට පමණ පසු බව ද ස්ටාලින් මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය මෙසේ කීවාය.  

‘‘මේ සම්බන්ධයෙන් මට මේ වෙලාවේ කතා කරන්න පුලුවන්කමක් නෑ. ඇය විශේෂිත පුද්ගලයෙක්. ඇය සහභාගී වීම වැරදියි කියන්නත් බෑ. ඒ වගේ අයට පාඨමාලවලට ඇතුළු වෙන්න ක්‍රමවේදයක් සකස් කර කවුන්සිලයට දාලා තියෙනවා. එය අනුමත වෙලා ආවට පස්සේ මේ ගැටලුවට විසඳුමක් ලැබෙයි. ‘‘ යැයි  අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ විශේෂිත පුද්ගලයන් සඳහා මෙම පාඨමාලාව හැදෑරීමට ක්‍රමවේදයක් සකස් කර ජාතික අධ්‍යාපන ආයතනයේ කවුන්සිලයට යොමු කර ඇති බවයි.  

‘ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය ගත්තේ අපි නෙමෙයි. ඇය මේ පාඨමාලාව හැදෑරීමට ඉල්ලීමක් කළා. අලුත් වැඩපිළිවෙළ යටතේ සාමාන්‍ය පෙළ විෂයන් සියල්ලම අසමත් වුණත් වෙනත් විෂය ධාරා යටතේ උසස් පෙළ හදාරා උපාධිය වෙනකම් යන්න පුලුවන්. ඉතින් මේවගේ රටට කීර්තියක් ගෙනාපු කෙනකුට මේ පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලබාදීමේ ගැටලුව මොකක්ද? ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කර ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යැව්වා. ඒ අනුමැතිය ලැබිලා තියෙනවා.‘