උප ඇමතිත් උසාවි කැඳවයි


අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට යන ‘ගලසීන උදානය‘ නම් සැනකෙලියේ සංවිධායක යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු හතර දෙනකුට බ්‍රහස්පතින්දා (31) අධිකරණයේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අද (30) නොතීසි නිකුත් කළේය. එම විදුහල් ක්‍රීඩා පිටියේ සැනකෙලිය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් නිස්සංක බන්දුල කරුණාරත්න සහ සරත් ගාමිණී එදිරිසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරු මේ නියෝගය දුන්හ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ආනන්ද කුලරත්න, දුමින්ද දිසානායකගේ ලේකම් නන්දන ලොකුබරණ, අනුරාධපුර ස්වර්ණපාලි පාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. වාසල ට නොතීසි නිකුත් කෙරිණි. අධිකරණ නියෝගය ෆැක්ස්, දුරකතන, පිස්කල් මගින් සීඝ්‍රගාමී තැපෑලෙන් හෝ නොපමාව ඔවුනට ලබා දිය හැකි වෙනත් ක්‍රමයක් ඇත්නම් බාර දෙන ලෙස අධිකරණ රෙජිස්ටාර්ට නියෝග කළේය. ඔවුන් අධිකරණයට නොපැමිණියහොත් ස්වර්ණපාලි බාලිකා විදුහල ක්‍රීඩාංගනයට ඇතුළුවීම සහ එහි සැනකෙළියක් පැවැත්වීම තහනම් කරමින් වාරණ නියෝගයක් පැනවීමට සිදුවන බවද විනිසුරුවරු ප්‍රකාශ කළහ.