උතුරේ ඇමති මාරුවට එකම පක්ෂයේ මත දෙකක්


(රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාත් සභාවේ දූෂණ සමබන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇමතිවරුන් සිව් දෙනාම ඉවත් කරන්නේනම් එයට විරුද්ධ වන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරම් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ අද (14) සභාගත කිරීමට නියමිත එම පළාත් සභාවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ කමිටු වාර්තාව සම්බන්ධයෙන් විමසීමේදීය.

“මේ දූෂණ චෝදනා එල්ල වී සිටින අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව පමණක් කටයුතු කරන්න ඕන කියලයි මා සිතන්නේ.හතරදෙනාම එකපාරටම මාරු කරනවාට අපි විරුද්ධයි.මෙහි වගකීම දරන්නේ උතුරු මහ ඇමතිවරයා.ඔහු හරියට කටයුතු කරයි කියල අපි විශ්වාස කරනවා.“සුමන්තිරම් මහතා පවසයි.

නමුත් මේ සම්බන්ධයෙන් එම පක්ෂයේම පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසුවේ මෙම විවාදය විශේෂ විවාදයක් බවත් ජනතාවගේ බලාපොරොත්තුව සිව්දෙනාම මාරු කිරීමට බවත් ය.

“මේ බව මහ ඇමතිතුමා පිළිගත්තොත් ඒ අයුරින් ක්‍රියාත්මක වෙයි.එහෙම වුණොත් ඒකට සහය දෙන්න ඕන කියල තමයි මා සිතන්නේ“යැයි ඒ මහතා පැවසීය.

සී.වී.විග්නේශ්වරන් මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුව ලබාදුන් පිටු 80කින් යුත් කමිටු වාර්තාව පසුගිය 06 වැනි දා පළාත් සභා සැසි වාරයේදී විවාදයට ගැනීමට ගත් උත්සහයේදී සභාව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් එම විවාදය අද (14) දක්වා කල් තැබීමට සිදු විය.