(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ පාසල් සඳහා නව විදුහල්පතිවරුන් අනුයුක්ත කිරීමේදි දේශපාලන මැදිහත්වීම් හේතු කරගෙන පාසල් තුළ පරිපාලන ගැටලු රැසක් පැන නැගී ඇතැයි ගුරු සංගම් නියෝජිතවරු චෝදනා කරති.
පසුගිය 2019 වර්ෂයේ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා පැවති තරග විභාගයෙන් සමත්වූ ගුරුවරුන් විදුහල්පතිවරුන් ලෙස උතුරු මැද පළාතේ පාසල් සඳහා පසුගිය සතියේ අනුයුක්ත කිරීම අවධිමත් ආකාරයට සිදුකිරීම හේතුවෙන් පාසල් තුළ ගැටලු තවදුරටත් උග්‍රවී ඇති බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ මහතා මෙසේ පැවසීය.
“පළාතේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු තිබියදි එම පුරප්පාඩු සම්පුර්ණ නොකර විදුහල්පති පුරප්පාඩු නොමැති මෙන්ම විදුහල්පතිවරුන් අතිරික්තව සිටින බොහෝ පාසල්වලට විදුහල්පතිවරුන් ස්ථාන ගත කර තිබෙනවා.

අනුරාධපුර විජයපුර, ධම්මතිලක විදුහලේ දරුවෝ ඉන්නේ 65 දෙනෙක්. එම විදුහලේ විදුහල්පතිවරයෙක් ඉන්නවා. තවත් විදුහල්පතිවරයෙක් අනුයුක්තව සිටිනවා. එසේ තිබියදි අලුතෙන් විදුහල්පතිවරයෙක් පත් කර තිබෙනවා.
ළමුන් 400ක් ඉගෙන ගන්න අනුරාධපුර කැදෑකල්ලංචිය, තන්තිරිමලේ, බිල්ලෑව විදුහල්වලට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්වත් නැහැ. නවක විදුහල්පතිවරයෙක්වත් පත්කළේ නැහැ. නොච්චියාගම කුකුල්කටුව විද්‍යාලයේ උග්‍ර ගුරු හිඟයක් තිබෙනවා. එම විදුහලේ දෙවන ශ්‍රේණිය භාර ගුරුවරිය එම වගකීමත් දරමින් විදුහල්පති ධුරයේත් රාජකාරි ආවරණය කරනවා. එහෙත් එම පාසලටත් විදුහල්පතිවරයෙකු පත්කරලා නැහැ. මේ ආකාරයට බොහෝ පාසල්වලට ශ්‍රේණිධාරි විදුහල්පතිවරු නැහැ.
අනුරාධපුර රඹෑව විදුහලේ විදුහල්පතිවරුන්ගේ අතිරික්තයක් තිබෙනවා. එහෙත් එම පාසලට ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් හතරදෙනෙකුම පත් කරලා.
කලත්තෑව, ජනාධිපති විද්‍යාලය, පොතානේගම, තම්මැන්නාපුර, වන්නිමඩුව වැනි පාසල්වල විදුහල්පතිවරුන්ගේ අතිරික්තයක් තිබියදි ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් පත්කර තිබෙනවා. මේ උදාහරණ කිහිපයක් පමණයි. තවත් පාසල් රැසක මේ නව විදුහල්පතිවරු ස්ථානගතකිරීමේදි ගැටළු රැසක් පැන නැගී තිබෙනවා.
මේ හේතුව නිසාම දැන් පාසල් තුළ පරිපාලනමය ගැටළු රැසක් ඉස්මතු වෙලා. එකම පාසලේ විදුහල්පතිවරු දෙන්නා තුන් දෙනා පත්කරලා. ඔවුන් අතර මතගැටුම්. උතුරු මැද පළාතේ උග්‍ර ගුරු හිඟයක්. විදුහල්පතිවරුන් නිසි පරිදි පත් කළා නම් ගුරු හිඟය යම් තරමකට හෝ අවමකර ගන්න තිබුණා. මෙම නවක විදුහල්පතිවරු ස්ථාන ගතකිරීමේදි දේශපාලනඥයන් ඊට අත පෙවීම මෙම තත්වයට හේතුවී ඇති බවද අසේල විජේසිංහ මහතා මෙහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර අධ්‍යාපන කලාප අධ්‍යක්ෂිකා මහේෂා හෙට්ටිආරච්චි මහත්මියගෙන් කළ විමසුමේදී ඇය මෙසේ පැවසුවාය.
“ගුරු සංගම් නියෝජියන්ගේ චෝදනාවේ සත්‍යතාවයක් තිබෙනවා. විදුහල්පතිවරුන් ස්ථාන ගතකිරීමේ ගැටළුවක් තිබෙනවා. සමහර කුඩා පාසල් වලටත් විදුහල්පතිවරු දෙතුන්දෙනා අනුයුක්ත කර තිබෙනවා. අපේ කලාපයේ ගුරුවරුන් 29 දෙනෙකු විදුහල්පතිවරුන් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා. අපි ඔවුන්ව පත්කිරීමට, විදුහල්පතිවරු නොමැති පාසල් සම්බන්ධයෙන් ලේඛනයක් පළාත් කාර්යාලයට යවා තිබුණා. එහෙත් එම ලේඛනය අනුව ඔවුන් එම පාසල්වලට ස්ථාන ගත කර තිබුණේ නැහැ” යැයිද ඇය සඳහන් කළාය.

