උතුරු මැද මහ ඇමැතිකමට අයිතිවාසිකම් කියති


උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී ජනතාව නිවැරදි තීන්දුවක් දී ඇතැයි ද එම තීරණයට අනුව මහා ඇමැති පත් කිරීමේ දී ජනාධිපතිවරයා මහජන මතයට අනුව කටයුතු කරනු ඇතැයි  තමන් අපෙක්ෂාකරන බව වනජිවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අනුරාධපුර මාධ්‍ය සාකච්ඡාවක දී  අද පැවැසීය. උතුරු මැද හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට වඩා වැඩි මනාප ඡන්ද ගනිමින් සැප්තැම්බර් 8 වැනි දා ඡන්දයේ දී වැඩිම මනාප ගත් අපෙක්ෂක වූ එස්.එම්. රංජිත්  මහතා ඔහුගේ බාල සහෝදරයාය. කෙසේ වූවද ජනාධිපතිවරයාගේ තීන්දුවට තමාත් තම සහෝදරයාත් එකඟ බවත් ඊට පිටස්තරව යාමට හැකියාවක් නැති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය. මේ අතර බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට හිතවත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් පැවැසුයේ වැඩි මනාපවලට වඩා පළපුරුදු කෙනකු පත් කළ යුතු බවයි. ඒ සඳහා හොඳම සුදුස්සා බර්ටි ප්‍රේමලාල් මහතා බව මැදවච්චිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් විජයරත්න මහතා කීවේය.