උතුරු මහ ඇමැතිගේ ඉල්ලීම දෙමළ සන්ධානය ප්‍රතික්ෂේප කරයි


එෆ්.අස්ලම්

 

උතුරු නැගෙනහිර සංවර්ධනය කිරිමේ ජනාධිපති කාර්යංශයට සහාය නොදක්වන ලෙසට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් කරන ලද ඉල්ලීම දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති කාර්යංශය හා  එක්වීමට තීරණය කර තිබේ.

උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසඳුමක් හිමිකර දෙන තෙක් කිසිදු සංවර්ධන කාර්යංශයකට හෝ කමිටුවකට එක් නොවන ලෙසට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුනි.

දේශපාලන විසඳුමක් ලැබෙන තාක් දෙමළ දේශපාලන නියෝජිතයින් වන ඔවුන් රජයේ කිසිදු කමිටුවකට හෝ කාර්යංශයකට සම්බන්ධ නොවීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන බවත් එය සැළකිල්ලට ගනිමින් දෙමළ ජාතික සන්ධානය ද මෙම කාර්යංශය හා එක්වීම ප්‍රතික්ෂේප කළයුතු  බව මහ ඇමැතිවරයා සිය ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.

උතුරු මහ ඇමැතිවරයාගේ එම ඉල්ලීම  සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊයේ (23) එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්ව සාකච්ඡා කළ අතර විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපය මෙහිදී දැඩි දෝෂදර්ශනයකට ලක්ව තිබේ.

යුද්ධයෙන් අගතියට පත් උතුරු නැගෙනහිර පළාත්හි සංවර්ධන කටයුතු බොහොමයක් සිදුවිය යුතු බවත් ඊට අමතරව ආරක්ෂක හමුදාව යටතේ ඇති දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කරගැනීම,එම පළාත්වල නව සිංහල ජනාවාස පිහිටුවීම් ඇතුළු ගැටළු රැසක්ම නිරාකරණය කරගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්යංශය පිහිටුවා ඇති බවත් මේ නිසා දෙමළ ජාතික සන්ධානය මෙකී කාර්යංශය හා අනිවාර්යෙන්ම සහභාගී විය යුතු බවත් කියමින් විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

මේ අනුව උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ ජනාධිපති කමිටුවේ මීළග රැස්වීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ඇරයුම පිළිගැනීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.