උතුරු පළාත් සභාපතිට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා-විග්නේෂ්වරන්


(සිරාජ් හසීම්)

උතුරු පළාත් සභා මන්ත්‍රීන් 21 දෙනකු විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගය පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා විසින්ම ආණ්ඩුකාරවරයා වෙත බාර දීම නීතියට පටහැනි ක්‍රියාවක්  බවත් ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් පළාත් සභාවේදී විවාද කර ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

පළාත් සභා මන්ත්‍රීවරයෙකුට හෝ අමාත්‍යවරයෙකුට හෝ ප්‍රධාන අමාත්‍යවරයෙකුට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ නම් එම මන්ත්‍රී කණ්ඩායම එය සභාපතිවරයා වෙත බාරදිය යුතු බවත් පළාත් සභා ක්‍රමය එය බවත් මෙහිදී මන්ත්‍රීන් සමගින් ගොස් සභාපතිවරයා විසින්ම මෙම විශ්වාසභංගය ආණ්ඩුකාරවරයා වෙත බාරදීම පළාත් සභා නියෝජිතයින් අතරේ දෝෂදර්ශනයට ලක්ව ඇති බවත් විග්නේෂ්වරන් මහතා කියයි.

මහ ඇමතිවරයා මේ බව පැවසුවේ තමන්ට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා දැනුම් දීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ අවස්ථාවේදීය
මෙම ක්‍රියාවත් සමග සිවඥානම් මහතා සභාපතිධූරය දැරිමට සුදුසු අයකුද නැතිද යන ප්‍රශ්නය නියෝජිතයින් අතරේ පවතින බවත් මේ පිළිබද ඉදිරි පළාත් සභා සැසිවාරයේදී විවාදයට ගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇති බවත් හෙතෙම කියයි.

දූෂන චෝදනා සනාථ නොවූ හා තවදුරටත් පැමිණිලි ලැබී ඇති උතුරු පළාත් සෞඛ්‍ය හා ධීවර අමාත්‍යවරුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන  කිරිම සදහා වෙනම  කමිටුවක් පත්කරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

එ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කිරීමට තමන් පියවර ගැනීමත් සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ මැදිහත්වීමෙන් පළාතේ පැවති ගැටළුකාරී තත්වය සමථයට පත්වූ බවත් සිය රාජකාරිය සතුටින් ගැටළුවකින් තොරව සිදුකරගෙන යා හැකි වේ යැයි තමා විශ්වාස කරන බවත් විග්නේෂ්වරන් මහතා කියයි.