(සිතුම් චතුරංග)
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි.කුරුකුලරාජා මහතා සහ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පි.අයිගරනේෂ් මහතාට එම අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන්නැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා අද (14) උතුරු පළාත් සභාවේදී දැනුම් දුන්නේය.
පළාත් අමාත්‍යවරුන්ට එරෙහිව පැවති දූෂණ හා වංචා විමර්ශනය කළ කමිටුවේ පිටු 86 කින් යුතු විමර්ශන කමිටු වාර්තාව උතුරු පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විග්නේශ්වරන් මහතා අමාත්‍යවරුන් වෙත එලෙස දැනුම් දුන්නේය.
ඔවුන් දෙදෙනාගෙන් නිදහසට කරුණු විමසු අවස්ථාවේදී අදාළ අමාත්‍යවරුන් පැවසූවේ තමන් අදාළ චෝදනාවන්ට නිවැරදිකරුවන් වන බවයි.
අමාත්‍යවරුන් දැරූ අමාත්‍යධූර සියල්ල පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා යටතට තාවකාලිකව පවරගන්නා බව ප‍්‍රධාන අමාත්‍යවරයා පළාත් සභාවේ සභාපති සි.වි.සිවඥානම් මහතා වෙත දැන්වීය.
මීට අමතරව චෝදනා ලැබ සිටින උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් සහ උතුරු පළාත් ප‍්‍රවාහන හා ධීවර අමාත්‍ය බි.ඩෙනිශ්වරන් යන මහත්වරුන් හට ද දූෂණ චෝදනා පැවතීම හේතුවෙන් හා සිදුකෙරෙන විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස එම අමාත්‍යධූරයන්ගෙන් තාවකාලිකව ඉවත් වෙන ලෙසට ද දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත‍්‍රීවරුන් වෙත අදහස් පළකිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් විරෝධය පළකර විපක්ෂ මන්ත‍්‍රීවරුහු පළාත් සභාවෙන් පිටතට පැමිණ සිටියහ.
අමාත්‍යධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත සභා වාරයේදී සාකච්ජා කිරීමට නියමිතය.

