ඊ.අටි.අයි. - ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වන්දි


ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් යන ආයතනවල තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි මුදල් පිරිනැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් පී.එල්.සී යන ආයතනවල තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මඟින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් දා රැස් වූ අතර මේ මස 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් පී.එල්.සී යන ආයතනවල ව්‍යාපාර තහනම් කිරීමට තීරණය කළේය.

ඒ අනුව ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් යන ආයතනවල තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවන අතර එක් තැන්පත්කරුවකුට රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙනු ඇත.

වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මේ වනවිට වෙන් කර ඇතැයි ද මෙම ගෙවීම් ක්‍රියාවලිය කාර්යක්ෂමව කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙම වන්දි මුදල් සඳහා අයදුම් කිරීමේදී තැන්පතු සහතිකය සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය දෙන්නැයි ද අදාළ ආයතන දෙකේ තැන්පත්කරුවන්ගෙන් සහ තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් ද කරයි.

මහජන බැංකුව 011 2 481 594, 011 2 481 320 , 011 2 481 617, 011 2 481 703 සහ ශ්‍රී ලංකා මහ බැංකුව 011 2 398 788 හා 011 2 477 261 යන දුරකතන අංක ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

055