ඉතාලියේ ශ්‍රී ලාංකික සියදිවි නසා ගැනීමේ රැල්ලට තවත් එක් මරණයක් එක් විය.
නාපොලි නගරයේ ජීවත්වූ තවත් ශ්‍රී ලාංකිකයකු (30) සිය දිවි නසා ගත්තේ ය. ඒ අනුව මේ වසරේ මියගිය එකොලොස් වැනියා ඔහුය. මිය ගිය සියලු දෙනාම තරුණයෝය.
මේ අතර රෝම අගනුවර බීමතින් ප්‍රතිවිරුද්ධ දිසාවට මෝටර් රථය ධාවනය කිරීමෙන් තවත් ශ්‍රී ලාංකියෙක් (30) බරපතල තුවාල ලබා දින කිහිපයක් සිහිසුන්ව රෝම මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඔහුගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරු පවසති. එක්දරු පියකු වන ඔහුගේ බරිය තම සැමියාගේ තත්ත්වය දැක රෝහලේ සිහිසුන්ව ඇද වැටිණි. වෛද්‍යවරුන් ඇයට ද ප්‍රථමාධාර ලබා දුන් අතර එහිදී අනාවරණය වූයේ ඇය සති හතරක ගැබිනියක බවයි. මේ බව ඔවුන් නොදැන සිටියහ.
අධික ලෙස බීමතින් රිය පැදවූ ඔහුගේ මිතුරා (35) මෙයට පෙර ද රිය අනතුරු පහක් සිදු කිරීමේ වරදට රියදුරු බලපත්‍රය අත්හිටවූ අයෙකි.
ප්‍රතිවිරුද්ධ දිසාවට රිය පැදවීමත් අධික ලෙස බීමත්ව සිටීමත් රියදුරු බලපත්‍රයක් නොමැතිවීමත් යන කරුණු මත ඔහුට විරුද්ධව පොලිස් නීතිය ක්‍රියාත්මක වේ.

