( නිශාන්ත කුමාර )
මීගහකිවුල නගරයට ඉහළින් පිහිටි ඉලුක්තැන්න රක්ෂිතයට අද (22) දහවල් 12.30 ට පමණ කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර කඳුවැටියේ අක්කර 50ක පමන ප්‍රදේශයක් මුලුමණින්ම පිළිස්සී විනාශයට පත්ව ඇත.
මෙම ගින්න සවස 2.30 පමණ වන විටත් කන්ද ඉහළට වේගයෙන් පැතිර යමින් පැවැතිනි.
ඉලුක්තැන්න රක්ෂිතය පාමුල පිහිටි හේන් යායකට තබන ලද ගින්නක් පැතිර යාමෙන් මෙම ගින්න හට ගෙන ඇත.
රක්ෂිතයේ යටි වගාව ලෙස ඇති වියලී ගිය මානා කැලෑවත් කන්ද ඉහළට හමන සුළගත් හේතුවෙන් මෙම ගින්න ඉතා වේගයෙන් පැතිර යමින් පවතී. ගින්න වේගයෙන් පැතිර යාමත් එම ප්‍රදේශය තුල ජනතාව නොමැතිවීමත් නිසා ගින්න නිවා දැමීමටද කිසිවෙකුත් පියවර ගෙන නොතිබිණි
ගින්නට හසුවීමෙන් රක්ෂීතයේ තිබූ ස්වභාවික ගහ කොලවලට මෙන්ම එහි මායිමේ පිහිටි හණ වගාවටද ගිණී ඇවිළී ඇත. මිට අමතරව පල දරා තිබූ මඩු (සීකස්) ගස් රැසක්ද ගින්නෙන් විනාශයට පත්ව ඇත.
ගින්න පැතිරයාමත් සමගම කන්ද ඉහළ සිට පහළ ගම්මාන වෙත ජලය රැගෙන එන නළ පද්ධති කීපයක්ද පිළිස්සී ගොස් ඇත. ඉලුක්තැන්න රක්ෂීතය මීගහකිවුල නගරයට ඉහලින් පිහිටි රජයේ ස්වභාවික වනාන්තරයක් වන අතර එහි කොලොන් දමුණූ , කැටකෑලෑ , කලුමැදිරිය , බුරුත ආදී වටිනා දැව වර්ග මෙන්ම විවිධ වර්ගයේ ඖෂධ පැලෑටි තිබෙන බවද ප්‍රදේශවාසිහු පවසති.
රක්ෂීතයට ඉහළින් පිහිටි කඳු මුදුනේ මීගහකිවුල හා ඒ අවට ගම්වලට ජලය සැපයෙන ජල උල්පත් රැසක් ද පිහිටා ඇත.