මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශය සම්බන්ධයෙන් තිබෙන අර්බුදය විසඳා ගැනීමට උපකාර කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය.
ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අද (23) එම ඉල්ලීම කළේය.
“ඕනෑම අවස්ථාවක කාශ්මීරයේ ගැටුමක් ඇතිවෙන්න පුළුවන්. ජාත්‍යන්තර සංවිධාන, විශේෂයෙන්ම මෙවැනි ගැටුම් ඇතිවීම වැළැක්වීමට ස්ථාපිත කරන ආයතන ඊට මැදිහත් විය යුතුයි. ඔවුන් ක්‍රියාකාරී විය යුතු” යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කීය.
ඉන්දියාවට අයත් ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ ස්වයං පාලන බලතල ඉවත් කිරීමට ඉන්දීය ආණ්ඩුව පසුගිය අගෝස්තු මාසයේ දී පියවර ගත්තේය.
මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත් වන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වූයේ ද ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයයි. එම බලතල ඉවත් කිරීමෙන් පසුව ජම්මු සහ කාශ්මීරය යනුවෙන් වෙනම ෆෙඩරල් පරිපාලන ප්‍රදේශ දෙකක් ලෙස වෙන් කිරීමට ද ඉන්දීය ආණ්ඩුව පියවර ගත් අතර ජම්මු සහ කාශ්මීර ප්‍රදේශවල අයිතිය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට අයිති කරගැනීම එහි අරමුණ විය.
කාශ්මීරයේ සම්පූර්ණ අයිතිය තමන් සතු යැයි ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම හිමිකම් කියයි. කාශ්මීරය නිසා ඉන්දියාව සහ පාකිස්තානය අවස්ථා දෙකකදී යුද වැදුණු අතර රටවල් දෙකම කාශ්මීරයේ කොටස් පාලනය කරයයි. 1980 වසරේ සිට ඉන්දියාවට අයත් කාශ්මීර කොටසේ බෙදුම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වේ.
ඉන්දීය ආණ්ඩුව ඉදිරිපත් කළ නව පුරවැසි පනතට එරෙහිව එරට බොහෝ තැන්වල විරෝධතා පැවැත්වෙන අතර ඊට ආණ්ඩුව කෙසේ ප්‍රතිචාර දක්වාවිද යන්න තමන්ට ඇති ‘ලොකුම බය’ යැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කීවේය. මෙම නව පුරවැසි පනතින් ඉන්දියාවේ සිටින මුස්ලිම් වැසියන් ඉලක්ක කරගෙන ඇතැයි ද ඇතැම් පාර්ශව චෝදනා කරති.
“අපි අතරේ දැන් යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. එහෙත් ඉන්දියාවේ විරෝධතා නරක අතට හැරුණොත්. ඊට යොමුවන අවධානය වෙනතකට හරවන්න උත්සහායක් ගත්තොත්” යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විමසීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඉම්රාන් ඛාන් කීවේය. රටවල් දෙක අතර ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීමට තමන් මැදිහත්වීමට සූදානම් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අවස්ථාවකදී පැවසීය.
රොයිටර්
055

