ඉන්ධනහලේ ගැටුම රෝහලෙන් කෙලවරවෙයි


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


කොට්ටාව අතුරුගිරිය පාරේ ඩීසල් පෝලිමක සිටි පෞද්ගලික බස් රථ සේවකයින් දෙපිරිසක් අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු  ප්‍රතිකාර සඳහා  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි .

රෝහල් ගතකළ තිදෙනාගෙන් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

කොට්ටාව බස් නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ කිහිපයක් ඇතුළු බස්රථ පෙළක් කොට්ටාව අතුරුගිරිය පාරේ අඟහරුවාදා පොල හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට  ඩීසල් ලබා  ගැනීමේ අරමුණින් ඊයේ (04) දා රාත්‍රී සිට  පෝලිමේ සිට ඇතැයි පැවසේ .

එම ඩීසල් පෝලිමේ රැඳී සිටි කොට්ටාව බස් නැවතුම්පළේ සේවකයින් දෙපිරිසක් අතර පැරණි කෝන්තරයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව  ඇතැයි පොලීසිය කියයි.

එම අවස්ථාවේදී තවත් පිරිසක් ඊට සම්බන්ධ වී ආරවුල සමථයකට පත්කොට ඇති අතර එහි  සිටි කිහිප දෙනෙකු පසුව එම ස්ථානයෙන් පිටව ගොස්  යළි පැයකට පමණ පසුව තිස් දෙනෙකු පමණ ලොරි රථයකින් නැවත එම ස්ථානයට පැමිණ ආරවුලක් හටගෙන ඇතැයි පැවසේ.

එහිදී ගැටුම දුරදිග යනවාත් සමඟ ලොරි රථයෙන් පැමිණි පිරිස කඩු , යකඩ පොලු , විකට් කණු , බැට් පිති රැගෙන බස් රථ වලට සහ එහි සේවකයින්ට  පහර දී පලා ගොස් ඇති බව පොලීසිය කියයි .

පහරකෑමෙන් තිදෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රහාරයෙන් බස්රථ තුනකට ද හානි සිදුව තිබේ.

තුවාල ලැබූ තිදෙනාගෙන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතය