ඉන්ධන මිල ඉහළ නොදැමීමෙන් මාස දෙකට කෝටි 988ක පාඩුවක්



 
 ඩයනා උදයංගනී 
 
ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන යාම හේතුවෙන් පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවල පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 9886 ක පාඩුවක් සිදුව ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පැවසීය. 
 
වසර තුනක කාලයක් නොකඩවා ඉන්ධන මිල වැඩි නොකළ රජය වත්මන් රජය බව කී අමාත්‍යවරයා මේ වන විට ලෝක වෙළඳපොළේ  ඉන්ධන මිල ඉහළ ගොස් ඇතත් එම බර ජනතාව මත පටවා නැතැයි ද සඳහන් කළේය.
 
මේ නිසා ඉහත කී මාස දෙක තුළ පෙට‍්‍රල්වලින් රුපියල් මිලියන 3200කට වැඩි ප‍්‍රමාණයක්, ඩීසල්වලින් රුපියල් මිලියන 4500කට වැඩි පාඩුවක් හා භූමිතෙල්වලින් රුපියල් මිලියන 2200ක පමණ පාඩුවක් සිදුව ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
 
යුද්ධය අවසන් වූ 2009 දී රුපියල් 133ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල 2013 වන විට රුපියල් 170ක් දක්වා ඉහළ ගොස් තිබුණත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2015 ජනවාරියේදී  රුපියල් 128 දක්වා අඩු කළ බවත් 2009 දී රුපියල් 73ට තිබී 2012 වන විට රුපියල් 115ක් බවට පත්වූ ඩීසල් ලීටරයක මිල රුපියල් 95 දක්වා සහ 2009 දී රුපියල් 51ක්ව හා 2012 දී රුපියල් 106ක් වූ භූමිතෙල් ලීටරයක මිල වත්මන් රජය ක‍්‍රමානුකූලව රුපියල් 44 දක්වාත් අඩු කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
තවදුරටත් ලෝක වෙළඳපොළ තත්ත්වය දෙස බලමින්  එම මිල ගණන් රඳවාගෙන සිටින බව කී අමාත්‍යවරයා මිල සූත‍්‍රයක් ගැනත් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි කියා සිටියේය. ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව ඉන්ධන මිල අඩු වැඩි කිරීම සඳහා මෙම මිල සූත‍්‍රය ගෙන ආවද රජය විසින් යම් ප‍්‍රතිශතයක පාඩුවක් දරාගන්නා ආකාරයෙන් එය හඳුන්වා දිය හැකි බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.