ඉන්දීය ධීවරයින් වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති කට අරී


( තිළිණි ද සිල්වා  )

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්  ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙසත්, එසේම දැනට ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා  ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය  කේ.පලනිස්වාමි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම  කර ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (27) වාර්තා කළේය.

පසුගිය දින කිහිපය තුළදී පමණක් ඉන්දීය ධීවරයින් 42ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම ශ්‍රී ලංකා බාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා 141 නිදහස්  කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා රජය පැවසුවද ඒවා මෙතෙක් නිදහස් කර නොමැති බවත් , එබැවින් ඒවා එරට ඉහළ පෙළේ බලධාරීන් ගේ මැදිහත් වීමෙන් ඉතා ඉක්මනින් නිදහස් කරගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙසත්  ඔහු ඉල්ලා ඇත.