ඉන්දියාවෙන් හොරෙන් කහ ගෙන්වූ 13 ක් රිමාන්ඩ්


(ලලිත් නවරත්න)

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කහ කිලෝ ග්‍රෑම් 6381 ක් ටෝලර් යාත්‍රාවකින් ගෙන්වූ හා මිලදී ගැනීමට කටයුතු කළ පුද්ගලයින් 13 දෙනෙකු අගෝස්තු 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (13) නියෝග කළේය.

මොවුන් සිව්දෙනෙකු පසුගිය 11 වැනිදා ඉන්දීය ජාවාරම්කරුවන්ගෙන් ලබාගත් කහ තොගය ටොලර් යාත්‍රාවකින් මෙරටට ප්‍රවාහනය කර තිබේ.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට නාවික සැතපුම් 10ක දුරකදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙම කහ තොගය මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් නව දෙනෙකු හලාවත මුහුදු තීරයේ දී සහ නගරයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මොවුන් වයස අවුරුදු  27 සහ 61 ක් හැවිරිදි බේරුවල, කටුගස්තොට, මහනුවර, තොඩුවාව, වත්තල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් වෑන් රථයකින් සහ කැබ් රථයකින් හලාවතට පැමිණ ඇති අතර ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 23 ක් පොලිසියට බාරයට ගැණිනි.

මුහුදේ දී අත්අඩංගුවට පත් සැකකරුවන් ඉන්දියානු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇති හේතුවෙන් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස මේවන විට රජයේ නීතිප්‍රකාරව නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.