(ඔගස්ටින් ප්‍රනාන්දු)
ශ්‍රී ලංකාවට නීතිවිරෝධීව බීඩි කොළ කිලෝ 1500 ක් ගෙනා පුද්ගලයන් තිදෙනෙකු දංකොටුව සිංගක්කුලිය ප්‍රදේශයේ දි අද ( 27 ) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීහු පවසති.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බීඩි කොළ ගෙනා ලොරියේ රියැදුරු, ඊට මාර්ග තොරතුරු ලබාදුන් මෝටර් රථයේ රියැදුරු සහ තවත් පුද්ගලයෙකි. සැකකරුවෝ මීරිගම පදිංචිකරුවෝ වෙති.
ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් සිංගක්කුලිය ප්‍රදේශයේ රැඳී සිටියදී, සඳලංකාව දෙසට ධාවනය වු ලොරියක් නවතා පරීක්ෂා කිරීමේදී ලොරියේ තිබූ බීඩි කොළ තොගය සොයා ගැනීමට හැකිව තිබේ.
දකුණු ඉන්දියාවේ සිට මුහුදු මගින් නීති විරෝධී ලෙස බෝට්ටුවකින්, වෙන්නප්පුව වෙරළට ගෙනවිත් ඇති මෙම බීඩිකොළ ලොරියේ පටවා ගෙන යමින් තිබු බවට කරුණු අනාවරණය වී ඇතැයි විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම ජාවාරම දිගු කලක සිට මීරිගම නගරය කේන්ද්‍ර කරගෙන පවත්වා ගෙන ගිය බව කරුණු අනාවරණය වී ඇතැයිද විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.



