(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව, මධ්‍යම ආසියාව, බටහිර ආසියාව යන සියල්ලටම වරාය නගරය තුළින් නව ආලෝකයක් ලැබෙනු ඇති බවත්, ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ද වරාය නගරය බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මේ සඳහා අවශ්‍ය විදුලිය හා ජල පහසුකම් සපයනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින්ම බව කී ඇමති චම්පික රණවක මහතා ඒ වෙනුවෙන් ඩොලර් බිලියනයකට අධික මුදලක් ආයෝජනය කරන බව ද සඳහන් කළේය.
එය රජය විසින් සිදු කරන ඉතාම ඵලදායී අයොජනයක් වනු ඇතැයි කී ඇමතිවරයා ඉදිරි වසර 10 තුළ වරාය නගරයේ නව ඉඩම් මගින් එම මුදල යළි උපයා ගැනීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.
වරාය නගරය අධිවේගී මාර්ග පද්ධතියට හා මේ වන විට ඉදිකෙරෙමින් පවතින සැහැල්ලූ දුම්රිය පද්ධතියටද සම්බන්ධ කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා කීවේය.
ඊට අමතරව එය දැනට පවතින දුම්රිය පද්ධතියට ද සාගර නගරය සම්බන්ධ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ චීන මධ්‍යම රූපවාහිනිය සමඟ සාගර වරාය භූමියේ අද (30) පැවති සාකච්ඡාවකදීය.
චීන තානාපති චැං ෂියැං මහතා, චීනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගමේ උප සභාපති සං සියු මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



