ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව රැස් වෙයි


(අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී  රැස් විය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පැන නැඟී ඇති  ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් මෙම කමිටුව කටයුතු කරනු ලබයි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ක්‍රමානුකූලව නිරාකරණය කර ගනිමින් එය යළි නඟාසිටුවීමට කටයුතු කළ යුතු බව සාගල රත්නායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 

ඉදිකිරීම් පුනර්ජීවන කමිටුව යටතේ ස්ථාපිත කිරීමට යෝජිත විධායක කමිටුව මගින්  ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි පණ ගැන්විය යුතු බව ද සාගල රත්නායක මහතා  පෙන්වා දුන්නේය.

එම විධායක කමිටුව, ජනාධිපති  කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංවර්ධන  පරිපාලන ආයතනය (SLIDA), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන්ගෙන් හා පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගෙන් සමන්විතව  පිහිටුවීමට ද මෙහිදී යෝජනා විය.