ඉතාලියේ සීට්ටු සල්ලි මාරවිල උණුසුම් කරයි


( ජුඩ් සමන්ත )

ඉතාලියේ නාපෝලි නගරයේ සිට ශ්‍රී ලංකිකයින් සමග සීට්ටු මුදල් එකතු කිරීමෙන් සහ පොලියට මුදල් ලබා ගනිමින් රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන පුද්ගලයකු නිසා මාරවිල පොලීසිය තුළ අද(14) උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙසේ මුදල් ලබා ගෙන ඇත්තේ කාලයක් ඉතාලියේ පදිංචිව සිටි බව කියන වර්තමානයේ මාරවිල රෝමන් පාර්ක් හී පදිංචි අයෙකි.

ඉතාලියේ සේවය කරන විට දී සැකකරුට මුදල් ලබා දුන් බව කියන 26 දෙනෙක් අද පොලිසියට පැමිණ සිටියහ.
මෙම ගනුදෙනු සිදු වී ඇත්තේ ඉතාලියේ දී බැවින් ද මුදල් ලබා ගත් බවට සහ ලබා දුන් බවට ලිඛිත සාක්ෂියක් නොමැති බැවින් ද මේ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ගෙන් උපදෙස් ගත යුතු බව මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත මහතා පැවසීය.

සුළු වේලාවකින් මුදල් ලබා ගත් බව කියන පුද්ගලයා නීතිඥයකු සමග මාරවිල පොලීසියට ඉදිරිපත් වූවේය.
තමා මෙහි සිටින අයගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් මුදල් ලබා ගත් බව ඔහු පොලිස් නිලධාරීන් සහ නීතිඥ මහතා ඉදිරියේ පිළි ගත්තේය.

එමෙන්ම තමා විසින් සිදු කර ඇත්තේ වංචාවක් නොවන බවත් තමාගෙන් මුදල් ලබා ගෙන සිටින ඇතැමුන් ආපසු මුදල් නොදී මග හැර සිටීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් ඔහු පැවසීය.

කුමන හෝ ආකාරයකින් ඉදිරියේදී එම මුදල් ලබා දීමට ඔහු එකඟ විය.මෙවැනි කටයුතු වලදී පොලීසියට කළ හැක්කක් නොමැති බවත් පොලියට මුදල් ලබා ගැනීම සහ සීට්ටු දැමීම වැනි ක්‍රියා වලදී වඩාත් ප්‍රවේශම් වන ලෙසත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේය.