( තිළිණි ද සිල්වා
කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යාමෙන් ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ලොම්බාඩි පළාත සහ තවත් ප්‍රාන්ත 14ක් වසා දැමීමත් සමඟ එම නගරවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.
එම ප්‍රාන්තවල සිටින සියලු පුද්ගලයින් අනිවාර්යය නිරෝධායනට ලක්කිරීමට ඉතාලි රජය තීරණය කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් 104,000කට අධික පිරිසක් ඉතාලියේ වාසය කරන අතර ඉන් 60 % කොරෝනා වෛරසය පැතිර යමින් පවතින එම ප්‍රදේශයේ වාසය කරන හෙයින් අදාළ ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවද ඉතාලියේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පැවසීය.
එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් කාර්යාලය හරහා අධීක්ෂණ කටයුතු සිදු කරන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
එහි වෙසෙන ලාංකිකයින්ට යම් සහයක් අවශ්‍ය නම් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ (0039)-06-884-0801 හෝ (0039)-06-885-4560 යන සාමාන්‍ය දුරකතන අංකයන් වලට අමතන්නැයිද රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.
උතුරු දිග ඉතාලියේ ලොම්බාඩි පළාත සහ තවත් ප්‍රාන්ත 14ක් වසා දමා එහි සියලු පුද්ගලයින් අනිවාර්යය නිරෝධායනට ලක්කිරීමට ඉතාලි රජය පෙරේදා (08) තීරණය කෙරිණි.
ඒ අනුව පුද්ගලයින් මිලියන16ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට ලක් කෙරෙන අතර ලබන අප්‍රේල් මුල් භාගය දක්වා කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශවලට පැමිණීම හෝ ඉන්පිටව යාම තහනම්කර ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.වසා දැමුණු ඉතාලියේ උතුරු ප්‍රදේශ අතරට ලාංකිකයින් බහුතරයක් වෙසෙන මිලාන් නගරය සහ ලෝක සංචාරක ආකර්ශනයක් සහිත වැනීසිය ද ඇතුළත් වේ.
නිරෝධායන කාල සීමාව තුළ සියලුම පාසල්, අධ්‍යාපන ආයතන වසා දැමෙන අතර සියලුම ක්‍රීඩා තරගාවලි, ආගමික හා සංස්කෘතික උත්සව ආදිය පැවැත්වීම තහනම් කර ඇත.
කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමට ලක්වූ රට ලෙස සැලකෙන ඉතාලියේ වෛරස ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 233ක් දක්වා ඉහළ ගොස් ඇත.එය චීනයෙන් බැහැරව කොරෝනා ආසාදිත වැඩිම මරණ සංඛ්‍යාව යැයිද විදෙස් මාධ්‍ය සදහන් කර සිටී. මේ අතර ඉතාලියේ ඊයේ (08) දිනය වන විට වෛරස ආසාදිතයින් 5883 දෙනෙකු වාර්තා විණි.

