තරුණ වයසෙන් ඉතාලියට පැමිණෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ තමන් හම්බ කරන හැම සතයක්ම වියදම් කොට විශාල මාළිගා වැනි ගෙවල් ගොඩ නගා ඒවා නඩත්තු කිරීමට හම්බ කරන සියල්ල වියදම් කිරීමට පුරුදු වී සිටින බැවින් යලි ශ්‍රී ලංකාවට පැමිණ විට කිසිවක් කර කියා ගත නොහැකිව අතරමන් වන බැවින් ඔවුන් අරපිරිමැස්මෙන් මුදල් කළමනාකරණය කිරීමට හුරු විය යුතු බව වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම ධිවර සත්ව නිෂ්පාදන හා සංවර්ධන වාරිමාර්ග ගොවිජන සංවර්ධන අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉතාලි සංචාරයකට පැමිණ කීවේය.
තමන් ඉතාලියට පැමිණි අරමුණ පැහැදිලි කරමින් ඒ මහතා එසැණට මෙසේද කීය
'මේ පාර මම ඉතාලියට ආවේ තවත් කාරණයකට. වයඹ පළාත් සභාවේ ගොවියන් සදහා කෘෂිකර්ම කටයුතු වලදීත් සත්ව නිෂ්පාදනයේදීත් නවීන තාක්ෂනය ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ඉතාලියේ කෘෂිකර්මය කෙරෙන විදිය බලන්නත් ආසයි. ඔවුන් කෘෂිකර්ම කටයුතු වලදී තාක්ෂණය උපරිම යොදා ගන්නවා. අපේ රටේ 25 දෙනෙක් වැඩකරන තැන්වල මෙහෙ වැඩකරන්නේ දෙන්නයි. ඒ තරමට නවීන තාක්ෂනය යොදාගන්නවා.
තලප්පාව බැදගෙන අමුඩේ ගහගෙන බුලත්විට කන අපේ කම තියෙන සාම්ප්‍රදායික ගොවියා ආරක්ෂා කරන ගමන් නවීන තාක්ෂණයත් ඔවුන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකික තරුණයෝ ලංකාවට ඇවිත් සත්ත්ව නිෂ්පාදනය හෝ කිරි ආශ්‍රිත කර්මාන්ත කර්මාන්තයක් කරන්න කැමති නම් ණය මුදල් වගේම දීර්ග කාලින බදු ක්‍රමය යටතේ එක් අයෙකුට රජයේ ඉඩම් වලින් අක්කර 25ක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.
ඉතාලියේ ඉන්න වයඹ පළාතේ නොවන අයෙකුට උවත් වයඹ පළාතට ඇවිත් එවැනි කර්මාන්තයකට යොමු වෙනවා නම් අපි ඒ පහසුකම් ලබා දෙනවා.
අපිට අවශ්‍ය කිරි වලින් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ සියයට 35යි. අනෙක් සියයට 65 ම ගේන්නේ පිටරටින්.
සත්ව නිෂ්පාදනය තුලත් කිරි ආශ්‍රිත කර්මාන්ත කරුවන්ට සියයට අටේ අඩු පොලි පදනමට ණය ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ 2016 වෙනකොට රට කිරි වලින් ස්වයන් පෝෂිත කරන්නයි.
වැඩිපුරම ඉතාලියේ ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ අය. ඒ අය එකතු වෙලා සනත් නිශාන්ත පදනම මිට අවුරුද්දකට පෙර පිහිටුවා ගත්තා. අපේ අරමුණ තමයි ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙලෙන විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා ඉගෙනීමට උදව් කිරීම.
පසුගිය වසරේ ළමයි 30 කට අපි උදව් කළා. තවත් විශ්වවිද්‍යාල ළමයි 15 කට පරිගණක ලබා දුන්නා. පාසැල් කිහිපයක දුප්පත් පාසල් දරු දැරියන්ට පාවහන් ලබා දීමද අපි විසින් ඉටු කළා.
මේ හැම එකකටම උදව් කරන්නේ ඉතාලියේ ඉන්න අම්මලා තාත්තලා. අපි කරන්නේ සම්බන්ධීකරණය විතරයි.
මාසෙකට යුරෝ 20ක් ඒ කියන්නේ රුපියල් 3500 ක් අපි විශ්ව විද්‍යාල දරුවෙක්ට ලබා දෙනවා.

