ඉඩම් පනත නැති නිසා අපදා වැළැක්වීම අපහසුයි


සිරංගිකා ලොකුකරවිට

  ජාතික ඉඩම් පරිහරණ පනත මෙතෙක් සම්මත නොවීම ආපදා තත්ත්වයන් වළක්වාගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී එස්.කේ.දෙනියගෙදර මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද  පැවැති කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අදහස් දක්වමිනි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ දෙණියගේ මහතා මෙසේ ද කීවේය.

‘ජනතාව අවිධිමත් ලෙස ඉඩම් පරිහරණය කිරීම, භූ විෂමතාව වෙනස් කිරීම හා අනවසර ඉදිකිරීම් ස්වභාවික ආපදාවලට හේතුවෙනවා. නමුත් මේ විදියට අවිධිමත් ලෙස කරන ඉදිකිරීම් හා භූමි පරිභෝජනයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්න අපිට නීතිමය බලතල නැහැ. මේ තත්ත්වයට හේතුවෙලා තියෙන්නේ 2009 වර්ෂයේ දී ඉදිරිපත් කර ඇති ජාතික ඉඩම් පරිහරණ පනත මෙතෙක් සම්මත නොවීම. ඒ නිසා අපිට ආපදා වළක්වන්න නෛතික පියවර ගත නොහැකි වී තිඛෙනවා.

ජාතික ඉඩම් පරිහරණ පනත නීතිපත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන නොමැත. නමුත් 2009 සිට පත්වූ සෑම ඉඩම් කොමිසමකින් ම නිර්දේශ කර ඇත්තේ ඉඩම් පරිහරණ පනත සම්මත කළ යුතු බවයි. එම පනත මගින් පහත් බිම් ගොඩකිරීම, අංශක 60ට වඩා වැඩි ආනතියක් ඇති ස්ථානයන්හි ඉදිකිරීම්, නායයාමට ඉඩ ඇති ස්ථානයන් හි ඉඩම් භාවිතා කිරීම සම්බන්ධ නීති සැකසීමට නියමිතය. ‘