
ඇමෙරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් සමඟ තලේබාන් සංවිධානය ජය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව සිය හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කරගනිමින් තලේබාන් සංවිධානය සමඟ පැවැති වසර 20 යුද්ධය අවසන් කළ අතර ඇමෙරිකාව ඇෆ්ගනිස්තායෙන් ඉවත්ව යද්දි තලේබාන් සංවිධානයට 2001 වසරේ සිටියාට වඩා ශක්තිමත් වී ඇතැයි ජගත් දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
මධ්‍යම රාත්‍රියට මොහොතක් තිබියදී ඇමෙරිකානු හමුදා ඊයේ (30) ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගිය අතර ඒත් සමඟම තලේබාන් සංවිධානය කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට ඇතුළු විය.
ඒ අවස්ථාවේදී ඔවුන් අදහසට වෙඩි තබමින් ජය සැමරූ බව ඇෆ්ගන් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
තලේබාන් සංවිධානය අහසට වෙඩි තබන ආකාරය දැක්වෙන විඩියෝ පට කිහිපයක් ද සමාජ මාධ්‍ය සහ ඇෆ්ගන් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යෑම ඇමෙරිකාව මෙන්ම ඔවුන්ගේ නේටෝ මිත්‍ර සන්ධානයට ද එක්තරා ආකාරයක නින්දාවක් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
“අන්තිම ඇමෙරිකානු සොල්දාදුවාත් ඇෆ්ගනිස්තානයෙන් පිටව ගියා. අපේ රට දැන් සම්පූර්ණයෙන් නිදහස්” යැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු වන කාරි යුසුෆ් උපුටා දක්වමින් අල්ජසීරා රූපවාහිනි පුවත් සේවය වාර්තා කර තිබිණි.
අවසන් ඇමෙරිකානු සොල්දාදුවා ගුවන් යානයකට ගොඩවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඇමෙරිකානු හමුදා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
ගුවන් යානයේ සිටි අයකු එම ඡායාරූපය ගෙන තිබූ අතර සොල්දාදුවන් රාත්‍රියේ පළඳින ඇස් කණ්ණාඩි යුගලයකින් එම ඡායාරූපය ගෙන තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපද පාබල හමුදාවේ 82 වැනි ගුවන් බළකායේ මේජර් ජෙනරාල් ක්‍රිස් ඩොනහියු එලෙස ඇෆ්ගන් භූමියෙන් ගුවන් යානයකට පිට වූ ඇමෙරිකානු සොල්දාදුවා ලෙස ඉතිහාස ගත විය.
ඇෆ්ගන් යුද්ධය ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ වූ දීර්ඝතම යුද්ධය ලෙස සැලකෙන අතර එම යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු සොල්දාදුවන් 2,500කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි වාර්තා වේ.
මෙම යුද්ධයේදී ඇෆ්ගන් වැසියන් 240,000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කර ඇත.
ඇෆ්ගන් යුද්ධය වෙනුවෙන් ඇමෙරිකාව වියදම් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකක් යැයි ද ගණන් බලා ඇත.
(රොයිටර්)

