ඇල්ගී දිලීර සම්බන්ධයක් රතු වැස්සට හේතුවයි


ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ඇදහැළුණු රතු වැස්ස ඇතිවූයේ මෙරට බහුලව දැකිය හැකි ලයිකනයකින් නිකුත් වූ බීජානු හේතුවෙන් බව කැලණිය විශ්වවිදයාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා ඒකකය කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ලයිනකයක් ලෙස හඳුන්වන්නේ ඇල්ගී විශේෂයක සහ දිලීරයක එකතුවකි.

පර්යේෂණය සිදුකළ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩී.එල්.ජයරත්න මහතා පවසන්නේ ගස් සහ ගල් මත කුඩා පැලෑටි විශේෂයක් මෙන් වර්ධනය වන මෙම ලයිකනයේ ඇති ඇල්ගී විශේෂය මගින් නිපදවන රතු පැහැති බීජානු රතු වර්ණකයක ගිලී පවතින බවයි. එම වර්ණකය කැරටනොයිඩ් වර්ණකය බව හඳුනාගෙන තිබේ. කැරට් අලයේ වර්ණයට හේතුවන්නේ ද කැරටනොයිඩ වර්ණකයයි.

ආචර්ය ජයරත්න මහතා පෙන්වාදෙන්නේ පසුගිය මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ පැවැති වියළි කාලගුණ තත්ත්වය ඇල්ගී විශේෂයේ බීජානු නිපදවීමට සුදුසු පරිසර තත්ත්වයක් නිර්මාණය කැර තිබූ බවයි. එම කාලයේ නිපදවූ බීජානු කෝටි ගණනක් වායුගෝලයට එකතුවී පසුව ඇතිවූ වර්ෂාව සමග තැන තැනට පතිත වන බවත් බීජානු හේතුවෙන් වර්ෂාව වර්ණවත් වී ඇති බවත් පර්යේෂකයෝ පවසති. රතු සහ කහ වැස්සට හේතුව බීජානුවේ අඩංගු රතු පැහැති වර්ණකයයි. ආචාර්ය ජයරත්න මහතා පවසන්නේ කොල පැහැති වැස්සට හේතුවන්නේ ලයිකනය විසින් නිපදවන කොළ පැහැති ප්‍රජනක ව්‍යුහයක් වායුගෝලයට එකතුවී යළි වැස්ස සමග පතිත වීම බවයි.

ඇල්ගී සහ දිලීර බීජානු ව්‍යාප්ත වීම සිදුවන්නේ සුළඟ සහ වර්ෂාව හේතුවෙන් බැවින් මෙය පුදුම සහගත තත්ත්වයක් නොවන බවත් පිටසක්වල ජීවීන් හා වර්ණවත් වැස්ස සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් කැලණියේ පර්යේෂකයෝ පවසති. මෙම වර්ණකය විෂ සහිත නොවන බවත් එයින් අසාත්මිකතා ඇති නොවන බවත් ඔවුහු පෙන්වාදෙති.

අන්වීක්ෂයෙන් 1000 වාරයක් විශාලනය කළ බීජානුව

ලයිකනය ගසක කඳක් මත වැඩී ඇති ආකාරය