(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
හදිසි සෞඛ්‍ය අවස්ථා හඳුනාගැනීම, වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම අනෙක් අයට ළඟාවීමට නොහැකි ස්ථානවලට ගොස් රෝග සඳහා මුල්වන හේතුවලට විසඳුම් සෙවීම, ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම තුළින් ඇමරිකානුවන් ඇතුළු ලෝක ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව එම නිවේදනයේ දැක්වේ.
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භ සාමාජිකයකු බවත් දශක හතක කාලය තුළදී ඇමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වන බවද ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය සෞඛ්‍ය අර්බුද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදිව කළමනාකරණ නොකළ බව චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය දැනුම් දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශපාලන බලපෑම්වලින් මිදී කටයුතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. අනෙක් සාමාජික රටවලට සාපේක්ෂව ලෝක සෞඛ්‍ය සංවිධානය අසාධාරණ අයුරින් විශාල ගෙවීම් ඇමෙරිකාවෙන් බලාපොරොත්තුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.