ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය වළක්වමින් නියෝගයක්


(ඉන්දිකා  රාමනායක)

පෙරටුගාමී සමාජවාදී  පක්ෂය  විසින් හෙට (9)  ඇමැරිකානු   තානාපති  කාර්යාලය  ඉදිරිපිට හෝ ඒ අසල පැවැත්වීමට නියමිත   උද්ඝෝෂණ  වලක්වමින්   කොටුව මහේස්ත‍්‍රාත්වරයා   විසින් අද  (8) නියෝගයක් නිකුත් කළ බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

පෙරටුගාමී පක්ෂයේ   ප‍්‍රධාන  ලේකම් සේනාධීර ගුණතිලක,  ප‍්‍රචාරක ලේකම්  දුමින්ද නාගමුව යන මහත්වරුන්ට ,  තවත් පිරිසට හා පොදුවේ  මහජනතාවට මෙම නියෝගය නිකුත් කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

කොවිඞ් 19  වයිරසයක්   රටතුළ  පවතින අවස්ථාවක   ඇමැරිකානු  තානාපති කාර්යාලය ඉදිරිපිට පුද්ගලයන් ඒක රාශි කරගෙන පෙරටුගාමී පක්ෂය  උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානමක් ඇති බවත්   කෝවිඞ්  19  ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා එම උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරන ලෙසට  කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක   සුමිත් ගුණරත්න මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට   හමුවේ කළ ඉල්ලීමක් අනුව  මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.

මෙම නියෝගය කඩ කරන පුද්ගලයන් ට   දණ්ඩ  නීති සංග‍්‍රහට යටතේ  185  වගන්තිය ප‍්‍රකාරව  දඩුවම්  ලැබිය හැකි වරදක්  බවට අධිකරණ ආඥාවේ සදහන් වේ.