1997 පෙබරවාරි 13 වැනි දින රත්නපුර පලාබද්දල නිවසක් ගිනි තබා අලාභ හානි සිදුකිරීම සම්බන්ධ නඩුවේ ඇපෑලේ අංක 87/2000 දරණ නඩු ගොනුව 2008 දී අධිකරණ ලේකම් විසින් ගෙන්වාගත් පසු එය අස්ථානගතවී යැයි අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රත්නපුර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා හමුවේ පැවසුවාය.
එම නඩු ගොනුව තම ඇමැතිවරයාට කියවා බැලීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ගෙන්වාගන්නා ලදැයි මහාධිකරණයේදී කියැවිණි.
නඩු ගොනුව අස්ථානගතවීමට ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීමක් ඇද්ද යන්න ගැන බරපතල සැකයක් මතුවන බව නීතිඥ නිරෝෂ් නින්දවත්ත මහතා පැවසීය.
රටේ විශේෂ බලයක් හිමි ශිෂ්ට යයි කියන පුද්ගලයන් සිදුකරන වැරදි ක‍්‍රියා හේතුවෙන් විනිසුරුවරුන් නීතීඥවරුන් සහ සමස්ත අධිකරණ පද්ධතියම අපහසුවට පත්වනවා යයි විනිසුරු ජිනදාස මහතා පැවසුවේ ‘මේ 87 /2000 නඩුගොනුව නැතිවී ඇතිනම් එය විශේෂ අවස්ථාවක් බවයි. එසේ නම් එයට දායකව ඇත්තේ විශේෂ බලයක් ඇති අශිෂ්ට මිනිසෙක්. සාමාන්‍ය මිනිසකු කෙදිනකවත් අධිකරණය අපහසුවට පත් කරන්නේ නැහැ‘.
රත්නපුර දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය සිදුවූ දිනට පසුදින එනම් 1997 වසර පෙබරවාරි 13 දින රත්නපුර පලාබද්දල වැසියකුගේ නිවසකට ගිනිතබා එම දේපළ හානි කළැයි නව දෙනකුට එරෙහිව නීතිපති විසින් චෝදනා හතරක් මත රත්නපුර මහාධිකරණයේ නඩු පැවරිණි.
ඉන් චෝදනා දෙකකට මෙම නවදෙනා වරදකරුවන් බවට 2008 වසර ජූලි 27 දින එවක මහධිකරණ විනිසුරුවරියවූ අනෝමා විජේවර්ධන තීන්දු කළාය. වරදකරුවන්ට වසර හයක් සිර දඩුවම් නියම විය. ඊට අමතර රුපියල් 5000 බැගින් දඩ ගෙවීමටද නියම කැරිණි.
එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් නවදෙනා අභියාචනයක් ඉදිරිපත් කළ පසුව 2008 අගෝස්තු 31 දින ඔවුහු නවදෙනා ඇපමත මුදා හරිනු ලැබූහ. අතුරුදන් වී ඇත්තේ එම නඩු ගොනුවය.
එසේ වැරදිකරුවන් වූයේ ජී.එම්.සමන් පියතිස්ස, ආර්.එල්.ගාමිණී වික්‍රමලාල්, ජී.ජී.සනත් කුමාර ගමගේ, ජේ.ඒ. කළුආරච්චි (මිය ගියා), කේ.ඒ.ඩී.ජගත් කළුආරච්චි, එන්.ප්‍රියන්ත රාජපක්ෂ, කපුවත්තේ සුනිල් ප්‍රේමරත්න, ඩී.ඒ.නිහාල් ප්‍රේමසිරි, රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු වන ඩබ්ලිව්.ඩී.සුගත් දිසානායක යන පිරිසයි.
මේ නඩු ගොනුව අතුරුදන්වීම සම්බන්ධ කරුණු දැක්වීමට අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක අධිකරණය හමුවේ පෙනිසිටියාය. එම අවස්ථාවේදී මේ පිළිබඳව අධිකරණයේ කරුණු දැක්වූ රජයේ නීතීඥ ලක්මාලි දිසානායක මහත්මිය මෙසේ කීවාය.
මෙම නඩුව කැඳවා ඇත්තේ මෙම අධිකරණයේ තිබූ නඩුගොනුවක් අධිකරණ අමාත්‍යංශයට ගෙන්වාගැනීමෙන් පසුව එම නඩු ගොනුව නැවත බාරදී නොමැති නිසාය. එම නඩු ගොනුව නැතිබව ප‍්‍රකාශවීම නිසා ඊට හේතු දැක්වීමට අධිකරණ අමාත්‍යංශ ලේකම් අධිකරණයට කැඳවූ බවද ඕ කීවාය.
මෙම නඩුගොනුව නැතිවීම සම්බන්ධ තොරතුරු අනාවරණයව ඇතිබවද මේ සම්න්ධව එල්සී 18/8 දරන අංකය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇතිබවද රජයේ නීතීඥවරිය කියා සිටියාය.
අධිකරණයේදී කළ කරුණූ විමසීමේදී අතිරේක ලේකම්වරිය මෙසේ පැවසුවාය.
‘අධිකරණ අමාත්‍යංශයේදී නඩුගොනුව අස්ථාන ගතවීම පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ලේඛනාගාරයේ මුල් නඩු පිටපත් සොයා බැලූවත් හමුවූයේ නෑ. මීට කලින් එවැනි දේ සිදුවී නෑ‘ මෙය විශේෂ අවස්ථාවක්ද යන්න විනිසුරුවරයා විමසුවිට මෙය විශේෂ අවස්ථාවක් බව අතිරේක ලේකම්වරිය පැවසුවාය.
අගතියට පත් පාර්ශවයේ නීතීඥ නිරෝෂ නින්දවත්ත මහතා මෙසේ පැවුසවේය.
‘යම් නඩු ලේඛන ගොනුවක් අවශ්‍යනම් අධිකරණ අමාත්‍යවරයා එය ගෙන්වා ගැනීමට 1958 අංක 09 දරණ පනත යටතේ අමාත්‍යංශ ලේකම් මගින් ඉල්ලීමක් කළ යුතුයි. එසේ ලබාගත් නඩුගොනුව නැවත නියම දිනයේදී බාරදීම ලේකම්වරයාගේ පරම වගකීමයි. නඩු ගොනුව ආපසු බාරදිය යුතු දිනය එම ගොනුවේම සඳහන් කරනවා‘
‘මේ නඩුගොනුව දේශපාලන පසුබිමක් සහිත අපරාධ නඩුවක්‘නඩු තීන්දුව අනුව විත්තිකරුවන් සියල්ලන්ට සිර දඩුවම් නියම කැර තිබුණා. අගතියට පත් පාර්ශවයට විශාල වන්දි ගෙවීමට නියම වුණා. නමුත් එම තීන්දුව ක‍්‍රියාත්මකවී නෑ. වරදකරුවන් නිදැල්ලේ සිටිනවා. අගතියට පත් පාර්ශවය වන්දිත් ලැබී නැහැ. නඩු වාර්තා සොයා ගැනීමට හැකියාවක් නෑ. විත්තිකරුවන් ඇප කොන්දේසි අනුව පොලිසිය පැමිණ පෙනී සිටීම පවා සිදුකළ බව වාර්තාවී නෑ. මේ අගතිගාමී ක‍්‍රියාවලියට ප‍්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්මක් ඇද්ද යන්න පිළිබඳ බරපතල සැකයක් මතුව තිබෙනවා‘
විත්තිකරුවන්ට අධිකරණයේ පෙනීසිටීමට නොතීසි නිකුත් කැරිණි.
විත්තිකරුවන් ඇප කොන්දේසි කඩකර ඇද්ද යන්න පිලිබඳ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය. මේ 87/2000 නැතිවූ නඩුගොනුව හෝ එසේවීම පිළිබඳ විමසුම් වාර්තාව හෝ නොපමාව අධිකරණයට ඉදරිපත් කරන ලෙසද විනිසුරුවරයා අධිකරණ අමාත්‍යංශයේ බලධාරීන්ට නියෝග කළේය. එසේ කළ නොහැකිනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීමට හේතු අධිකරණයට ඉදිරිපත් කළයුතු බවද මහාධිකරණ විනිසුරුවරයා ප‍්‍රකාශ කළේය.

