ඇමරිකාව උතුරු කොරියාවට යුද ශක්තිය පෙන්වයි


ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරයට ආසන්නයෙන් පියාසර කරවූ බව පෙන්ටගනය පවසයි.

සිය යුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙය සිදු කළ බවත් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සතුව විවිධ හමුදා ක්‍රියාමාර්ග පවතින බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.

මෑත ඉතිහාසයේ ඇමරිකානු ප්‍රහාරක යානයක් උතුරු කොරියානු වෙරළාසන්නයෙන් පියාසර කරවූ ප්‍රථම අවස්ථාව මෙය බවත් උතුරු කොරියාවේ සාහසික හැසිරීම් සුළුවෙන් නොතකන බවත් එමගින් අවධාරණය කර ඇත.

ඇමෙරිකාව මෙම නිවේදනය නිකුත් කළේ උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය  අමතා දේශනය පැවැත්වීමට නියමිතව සිටියදී ය.

එම රැස්වීම අමතමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා සිටියේ ඇමරිකාවේ හෝ එහි මිතුරු රටවල ආරක්ෂාවට බලපෑම් කරන්නේ නම් උතුරු කොරියාව විනාශ කිරීමට පසුබට නොවන බවයි.

සුපර්සොනික් බී-1බී වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා දෙකක් මෙලෙස පියාසර කර ඇත.

මෙම නිවේදනය නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර උතුරු කොරියාවේ සුළු භූමිකම්පාවක් ඇතිවූ අතර එය තවත් න්‍යෂ්ටික බෝම්බයක්දැයි සැකයක් ඇති විය. නමුත් එය ස්වාභාවික කම්පනයක් බව පසුව අනාවරණය විය.

(ද ටෙලිග්‍රාෆ් ඇසුරිණි - 085)