ඇමතිවරුන්ට එරෙහි චෝදනා විමර්ශනය මාධ්‍යයට තොරතුරු දෙන්න නෙමෙයි - විග්නේශ්වරන්


)සිරාජ් හසීම් සහ එස්.ප්‍රදීපන්)

උතුරු පළාත් අමාත්‍යවරුන්ගේ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව මාධ්‍යයට තොරතුරු නොදෙන කොන්දේසිය මත එම විමර්ශනය කළ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

“උතුරු පළාත් අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සම්බන්ධයෙන් විවිධාකාරයෙන් පැමිණිලි ලැබුණා.ඒ ගැන විමර්ශනය කරන්න එක් විමර්ශන කමිටුවක් පත්කළා. ඒ කමිටුවට විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනකු සහ පරිපාලන ක්ෂේත්‍රයේ විශ්‍රාමික ප්‍රධානියකු පත්කළා.ඒ අනුව ස්වාධීන පරීක්ෂණයක් ඔවුන් විසින් සිදුකරනු ලැබුවා “යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනතාවගේ විශ්වාසය තහවුරු කෙරෙන අන්දමින් උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ බවත් මෙකී විමර්ශනය අපක්ෂපාතී අන්දමින් ස්වාධීනව කළ බවත් ඒ මහතා කීය.

උතුරු පළාත් අමාත්‍ය මණ්ඩලයට එරෙහිව කරන ලද දූෂණ වංචා අක්‍රමිකතා සහ අනිසි ලෙස බලතල හැසිරවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවසන් කරන ලද විමර්ශනවල වාර්තාව සභාව වෙත ඉදිරිපත් කරමින් මහ ඇමතිවරයා මේ බව කීය.