ඇත්ත කිව්වත් කෝටි පහක රන් රාජසන්තකයි


ශ්‍රී ලාංකිකයෙකු ඩුබායි සිට  මෙරටට ගෙනා කිලෝ 10 යක රන් තොගයක් රාජසන්තක කල රේගුව ඔහුට දඩ නොපනවා ඔහු මුදා හැරියේය.

පසුගිය 23 වෙනිදා මොහු ඩුබායි  බලා ගොස් ඇති අතර එම අවස්ථාවේ  සහකාර රේගු අධිකාරී නුවන් බංඩාර මහතාට  මොහු ගැන සැකයක් ඇති වී ප්‍රශ්න කර  යළි මෙරටට පැමිණෙන දිනය පිළිබඳ අවදානයෙන් සිට මෙම වැටලීම සිදුකොට ඇත.

මෙම පුද්ගලයා  ඊයේ  යළි  ඩුබායි සිට මෙරටට පැමිණි බව දැනගත්   සහකාර රේගු අධිකාරීවරුන් වන  නුවන් බංඩාර සහ ඒ.කේ.ආර් සමන්ජිත්  යන මහත්වරුන් එක්ව  මොහු ගුවන් යානයෙන් බැස ගත් මොහොතේ සිට අවධානයෙන්  සිට පසු පසින් හඹාවිත් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට සැකකරු ගුවන්තොටුපොළෙන් පිටවීමට විවිධ උපක්‍රම භාවිතා කර ඇතත්  රේගු නිලධාරීන්ට අසුවු පසු  ඔහු අත තිබු  අත් බෑගයේ ඇත්තේ මොනවා දැයි විමසු විට  කිසිවක් කරකියා ගත නොහැකි වු තත්වයට පත් වු මෙම  පුද්ගලයා ‍රේගුවෙන් මිදීමේ අරමුණින්  තමාට  සෞදි ජාතිකයෙකු  දුන් බව කියමින් බෑගයේ තිබු   රන් තොගය රේගුවට ප්‍රකාශ කිරීමට උත්සහ දරා ඇත.

කෙසේ වෙතත් මොහු ලඟ කිසිඳු ලියවිල්ලක් නොතිබු බවත් රේගුව කියයි. මොහු කුලියට රන් ප්‍රවාහනය කරන්නෙකු බවටද කරුණු අනාවරණය වී ඇත.

නිල් පැහැති ටේප් වලින් එතූ කිලෝග්‍රෑමයක් බැගින් බර වූ  රන් කුටිටි දහයක් ඔහු ලඟ තිබූ බව රේගුව කියයි.

රන්කුට්ටි  වල වටිනාකම රුපියල් කෝටි පහකි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් පාවිච්චි කරණ රන් භාණ්ඩ  මෙරටට ගෙන ඒමට රේගුව ඉඩ දෙන නමුත්  වානිජමය ස්වරූපයෙන් රන් ගෙන ඒමට ඉඩ නොදෙන බැවින් මොහු අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් ඔහු රන් රේගුවට පෙන්වීමට උත්සහ කර තිබු නිසා දඩ නොගැසූ බවද ඔහු කීවේය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය. 

මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී ඩී. රත්නකුමාර මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන  නුවන් බංඩාර, ඒ.කේ.ආර් සමන්ජිත්, නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, සශික කුමාරසිංහ, දුමිඳු සිරිසේන  යන නිලධාරීහු සිදු කළහ.