ආසියානු සුපිරි තරු මලල ක‍්‍රීඩා තරගාවලියට මංජුල - චන්ද්‍රිකා පමණයි
ආසියානු සුපිරි තරු ‘‘ ඕල්ඞ් ස්ටාර්’’ මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙකකට අඩු වී තිබේ. මේ තරගාවලිය ලබන සෙනසුරාදා (30) කසකස්තානයේ දී පැවැත්වේ.
ඊට තෝරා ගෙන සිටි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් පස් දෙනාගෙන් උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර හා මීටර් 400 ක‍්‍රීඩිකා චන්ද්‍රිකා සුභාෂිනී රස්නායක පමණක් එම තරග සංචාරයට සහභාගි වෙමින් හෙට (28) දිවයිනෙන් පිටත්ව යයි.
ෂෙහාන් අඹේපිටිය (මීටර් 100 - පිරිමි), ප‍්‍රසන්න අමරසේකර (මීටර් 400 - පිරිමි) අසනීප තත්ත්වයන් මැද තරගාවලියට සහභාගි නොවන බව දැනුම් දී තිබෙන අතර දැනට ඇමරිකාවේ වෙසෙන මීටර් 400 කඩුලූ පැනීමේ ක‍්‍රීඩිකා ක‍්‍රිස්ටිනා ෂොනාලි මෙරිල් ද තරග සංචාරයට සහභාගි නොවන බව වාර්තා වේ.
මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බාර නිලධාරියා ලෙස නම් කර සිටි සුනිල් ජයවීර මහතා අසනීප තත්ත්වයන් මැද ඊට සහභාගි නොවන බවට මලල ක‍්‍රීඩා සංගමයට දැනුම් දී තිබේ.
ඉතාලියේ සිට ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියත් ෂෙහාන් අඹේපිටිය පාදයේ පවතින ආබාධයක් නිසා ආසියානු සුපිරි තරු තරගාවලියට සහභාගි නොවන බව ඔහුගේ පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා ”ලංකාදීප”යට පැවසීය.
ක‍්‍රීඩක ප‍්‍රසන්න අමරසේකර උණ රෝගයෙන් පෙළෙන බව වාර්තා වේ. නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා මංජුල කුමාරගේ පෞද්ගලික පුහුණුකරු ලෙස තරග සංචාරයට එක් වන අතර බර්නාඞ් පෙරේරා මහතා මෙම තරගාවලියේ දී තාක්‍ෂණික නිලධාරියකු ලෙස කටයුතු කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

