ආසියානු තරගාවලියට රජය වියදම් දෙනතුරු බලානොසිට මුදල් සොයන්න


කොළඹදී ලබන සෙනසුරාදා (9) ආරම්භ වන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශුරතාවලියේ වියදම් රජයට තනිව දැරිය නොහැකි බැවින් ඒ සඳහා අනුග‍්‍රාහකයන් මගින් මුදල් සොයා ගැනීමට උනන්දු වන ලෙස ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ. එහිදී ඇමැතිවරයා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරි මණ්ඩලයේ එක් අයකු අවම රුපියල් මිලියන දෙකක්වත් සොයා ගැනීමට උනන්දු විය යුතු බවය. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු එහි ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඇමැතිවරයා මුණ ගැසුණු අවස්ථාවේදී ඔවුන්ගෙන් මෙම ඉල්ලීම කර තිබේ. ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මීට පෙර අවස්ථාවකදී ප‍්‍රකාශ කර සිටියේ තරගාවලියේ සත්කාරය ලබාගැනීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු පාලනය (2011 - 12) උනන්දු වුවත් ඔවුන් ඉවත්ව යනවිට ඒ සඳහා ශත පහක්වත් සොයාගෙන නොතිබූ නිසා ක‍්‍රීඩා අමාත්‍යාංශය දැඩි දුෂ්කරතාවට පත්වූ බවයි. ඒ සඳහා පෞද්ගලික අනුග‍්‍රාහකයන් මගින් වියදම් සොයා ගැනීමට ඇමැතිවරයා උනන්දු වුවත් තරගාවලියේ වැඩි බර පැනක් දරන්නේ ක‍්‍රීඩා අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන කීපයක් විසිනි. කොළඹදී මෙම 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රටවල් 36 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ සත්කාරය දරන ශ්‍රී ලංකාව ඒ සඳහා රුපියල් මිලියන 70කට ආසන්න මුදලක් වැය කරයි. තරගාවලියට සහභාගි වන චීනය, ජපානය, චීන - තායිපේ ඇතුළු රටවල් කීපයකින් කණ්ඩායම් අද (6) දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. යේමනය හා කුවේට් රාජ්‍යයේ මලල ක‍්‍රීඩා කණ්ඩායම් දැනටමත් දිවයිනට ළඟාවී ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන් මහතා පවසයි. මේ අතර ඇමැතිවරයාගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිවරයා පෞද්ගලික අනුග‍්‍රාහක ආයතන කීපයක් සමග සාකච්ඡුා කරමින් තරගාවලියට අරමුදල් රැස්කිරීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ. එසේ වුවත් මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරීන් බහුතරයකට ඒ සම්බන්ධයෙන් ඇත්තේ ඇල්මැරුණු උනන්දුවක් බවත් ඊට හේතුව පෞද්ගලික අනුග‍්‍රාහකයන් සොයා ගැනීමේ දුෂ්කරතා මෙන්ම ඔවුන් ඇතැමුන්ට ඒ සඳහා ශක්තියක් නොමැතිවීම බවද මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර මලල ක‍්‍රීඩා සංගමයේ විධායක සභාවේ නිලධාරීන්ට ජනමාධ්‍යයට අදහස් දැක්වීම තහනම් කරමින් එහි ලේකම් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතා ජංගම දුරකථන කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී ඇතැයිද කියති. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේමලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක