ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම හිස් අතින් එයි


මැලේසියාවේ මාලක්කා නගරයේදී පැවැති 7 වැනි ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව සත්කාරකත්වය දැරූ මැලේසියානු කණ්ඩායම දිනා ගත්තේය. තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකාවට එහිදී හිමි වුයේ අට වැනි ස්ථානයයි. ඉන්දියාව, පාකිස්තානය, ජපානය, කොරියාව, ඉරානය, චීනය, ශ්‍රී ලංකාව සහ සත්කාරක මැලේසියාව යන රටවල් අටක් තරග කළ මෙම තරගාවලියේදී මැලේසියාව ශූරතාව දිනා ගත්තේ පළමුවරටය. තරගාවලිය ඉලක්ක කරමින් 2009 වසරේ සිට ඔවුන් දීර්ඝ කාලීන පුහුණුවකින් පසුව මෙම ජයග‍්‍රහණය ලබා ඇතැයි ද වාර්තාවේ. කෙටි කාලීන පුහුණුවක් ලබා මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වුයේ යොවුන් ක‍්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ මුලික අරමුණින් බව තරග සංචාරයේ පුහුණුකරු ලෙස කටයුතු කළ අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පවසයි. එහිදී ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කිරීමට හැකි මට්ටමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනකුම හඳුනා ගැනීමට හැකි වු බවද ඔහු පැවසීය. තරගාවලියේදී ඉන්දියාව (ගෝල 11/0), පාකිස්තානය (ගෝල 14/0), ජපානය (ගෝල 5/1) සහ චීනය (ගෝල 5/0) හමුවේ ශ්‍රී ලංකාව පරාජය විය. පාකිස්තානය අනුශූරතාව ද, ඉන්දියාව තෙවැනි ස්ථානය ද එහිදී හිමි කර ගත්තේය.