ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ගෙන යන බස්වලට නීතිමය ක්‍රියාමාර්ග


(ඩයනා උදයංගනී)

බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පැවසීය.

පොදු ප්‍රවාහන සේවා අද(8) සිට සාමාන්‍ය පරිදි සෞඛ්‍යාරක්‍ෂික අන්දමින් ආරම්භ කෙරුණු බව කී අමාත්‍යවරයා එම වැඩපිළිවෙල සියයට 95ක් සාර්ථක බව ද සඳහන් කළේය.

ඒ අනුව බොහෝ බස්රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණක් රැගෙන ආ බව කී ඇමතිවරයා ඇතැම් ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් ඇතිව තිබූ බව ද කීවේය.

දුම්රියවල ද ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස නිර්දේශ කර ඇතත් එය ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් බව කී ඇමති මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර දුම්රියවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි වැඩපිළිවෙලක් සකස් කරන බව ද ප්‍රකාශ කළේය.
 
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස ගණනක් ධාවනය නොකෙරුණු පෞද්ගලික බස්රථවල අලුත් වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සහන පොලී අනුපාතිකයක් යටතේ රුපියල් ලක්‍ෂ තුනක ණයක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා කීවේය.

ජනාධිපතිවරයා සමඟ අද (8) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව කී අමාත්‍යවරයා එහිදී බස් රථ හිමියන් කළ ඉල්ලීම අනුව බස් රථයේ මාර්ග බලපත්‍රය ඇපයට තබාගෙන මෙම පහසුකම ලබාදීමට තීරණය කර ඇතැයි ද පැවසීය.