ආරච්චිකට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ්


(ඔගස්ටින් ප්‍රනාන්දු)

අනියම් බිරිඳ ඇතුළු සිව් දෙනෙකු කපා කොටා බරපතල තුවාල සිදුකර පලා ගොස් සැඟව සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා  අද (14) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ හලාවත බංගදෙණිය කරුකුපොනේ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසුරිය සුජිත් ප්‍රනාන්දු නමැති පුද්ගලයෙකි.

බංගදෙණිය කුම්ඹුට්ටුකුලිය ප්‍රදේශයේ නිවසකට මේ මස 4 වන දින රාත්‍රී  බලහත්කාරයෙන් ඇතුළු සිව් දෙනෙකු කපා කොටා ඔවුන් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවන් මත සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණි.

සැකකරු අද (14) හලාවත මුන්නේශ්වරම් නල්ලනායගම් වැව් බැම්මේ සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල් රංජිත් මහතා පැමිණිල්ල ඉදිරිපත් කළ අතර සැකකරු වෙනුවෙන් නීතිඥ රුවන් ප්‍රනාන්දු මහතා පෙනි සිටියේය.