ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස රඟ පෑ අයෙක් අත්අඩංගුවට


 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා යැයි පවසමින්  පෙනී සිට බොරු පැමිණිල්ලක්  කළ  බව කියන  පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
 

සැකකරු කොම්පඤ්ඤවීදිය  ප්‍රදේශයේ අවන්හලකදී  එහි හිමිකරුට පහරදී  බීමතින් එහි සේවකයන් සමඟ බහින්බස් වී, හිමිකරුටද පහරදී  අනතුරුව   කොම්පඤ්ඤවීදිය පොලීසියට සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් කර තිබේ.
 
පැමිණිල්ල සටහන් කරගත් පොලීසිය අනතුරුව තුවාල ලබා සිටි මෙම සැකකරුද රෝහලගතකිරීමට පියවරගෙන  ඇත.
 
නමුත්  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ  ඇරැඹු පොලීසියට හෙළිව ඇත්තේ මෙම  පුද්ගලයා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා  නොවන බවකි. එසේම අවන්හලේ සී.සී.ටී.වී දර්ශන අනුව දෙපාර්ශවය අතර බහින් බස් වීමක් සිදුව පසුව එය පහරදීමක් බවට පත්ව ඇති බව ද නිරීක්ෂණය වූ බව පොලීසිය සඳහන් කළේය.
 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් අන් අයෙකුගේ නමින් පෙනී සිටීම , පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම , අනර්ථය හා පහර දීම යන චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලිකරු ප්‍රතිකාර ලබමින්  සිටි  පෞද්ගලික රෝහලෙන්  පිටව යද්දී අත්අඩංගුවට ගත් බව පොලීසීය පැවසීය.  
 
සැකකරු අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ මගපෙන්වීමෙන් කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ මෙහෙයවීමෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.