(හර්ෂණ තුෂාර සිල්වා)
ගංවතුර හා නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 122 බව වාර්තා වෙද්දි ආපදා කටයුතුවලට සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය සෙනසුරාදා 27 දිනයේදී ජාත්‍යන්තර සහාය පැතීය.
තවමත් පුද්ගලයන් 93 දෙනකු අතුරුදන්ව ඇතැයි රාජ්‍ය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළ අතර මෙම වර්ෂාව 2003 වසරේ ඇතිවූ වර්ෂාවෙන් පසු වාර්තා වූ ප්‍රබලතම වර්ෂාව යැයිද වාර්තා වේ.
තත්ත්වය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ අසල්වැසි රටවලින් සහාය ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. විශේෂයෙන්ම සෙවුම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබේ. ඉන්දියාව ආධාර සහ අවශ්‍ය සැපයුම් සහිතව එරට නාවික හමුදාවට අයත් නෞකා තුනක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබූ අතර ඉන් පළමු වැන්න අද (සෙනසුරාදා) දිනයේදී කොළඹ වරායට පැමිණියේය.
කළුතර, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් අද දිනයේදීත් මරණ වාර්තා වූ බව බලධාරීහූ පැවසූහ. ත්‍රිවිධ හමුදාව සහ මුදා ගැනීමේ කණ්ඩායම් බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් සහන සේවා සැපයීමේ හා මුදා ගැනීමේ කටයුතුවල නිරත වූවද එහෙත් ඇතැම් ප්‍රදේශවලට පිවිසීම දුෂ්කර බව නිලධාරීහූ ප්‍රකාශ කළහ.
සාමාන්‍යයෙන් මැයි මස අගදී ආරම්භ වන නිරිත දිග මෝසම් වර්ෂාව මෙවර ආරම්භයේදීම ඉතා දැඩි ඝනත්වයකින් ඇදහැළිණ. ඒ හේතුවෙන් දිවයින පුරා ලක්ෂ 5 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති අතර බොහෝ පිරිසකට තම නිවෙස් අතහැර දමා යෑමට සිදුවී තිබේ.
ඉකුත් බ්‍රහස්පතින්දා (25) ශ්‍රී ලංකාවට ඇතිවූ වර්ෂාව 2003 වසරෙන් පසු ඇතිවූ ප්‍රබලතම වර්ෂාව යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළද අතර ඉදිරි දින කිහිපයේදීද වර්ෂාව ලැබිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනය කරයි.

