
(යොහාන් භාසුර)
රුපියල් ලක්ෂ 65 කට ආසන්න වටිනාකමින් යුත් නීති විරෝධීව ආනයනය කළ වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු නිවාරණ අංශය සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති) සුදත්ත සිල්වා මහතා පැවසීය.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් ඔරුගොඩවත්ත ආර්.සී.ටී. බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේදී පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී වියලි ඉඟුරු කිලෝ 2,474 ක්, උඳු කිලෝ 2465 ක් සහ තල් සූකිරි කිලෝ 248 ක් සොයාගත් බවත් එම බහලුම රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ආනයනකරු ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කළ රේගු සටහන්කරයේ එම බහාලුම තුල කොල්ලු කිලෝ 23,150 අඩංගු යැයි සඳහන් කර තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම අඩි 20 බහාලුම ඉන්දියාවේ සිට පැමිණි ස්ම්යිලි ලේඩි නමැති නෞකාවෙන් මෙම මස 12 වන දින මෙරටට ගෙනැවිත් තිබු බව සඳහන් කළ රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ බහාලුම පරීක්ෂා කිරීමේදී එහි තුල තිබී කොල්ලු කිලෝ 18,000 ක් අතර දැනට ආනයනය සීමා කර ඇති වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගය රේගු නිලධාරීන් නොමග යවන අයුරින් ඉතා සූක්ෂ්ම ලෙස කොල්ලු අඩංගු බෑගවලට සමාන බෑග තුළ සඟවා තිබූ බව කීය.
මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් රජයට රුපියල් ලක්ෂ 19 කට (1,838,636) ආසන්න බදු ආදායමක් අහිමි වීමට ඉඩ තිබූ බවත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන නිවාරණ නිලධාරි සේනක ඇරවුපොල මහතාගේ උපදෙස් මත ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරි අරුණ ශාන්ත මහතා ප්‍රමුඛ නිවාරණ අංශයේ නිලධාරීහු ක්‍රියාත්මක කරති.

