ආණ්ඩුවේ රස්සා නෑ - රජයේ කන්තෝරු සේවකයන්ගෙන් පුරවලා


(ක්‍රිෂාන්ජීවක ජයරුක් සහ කඹුරුපිටිය රසුන් දහනායක)

“ආණ්ඩුවේ රස්සා දැන් නැහැ. අපි ඒවා දෙන එකත් එක්තරා විදියක පාප කර්මයක්. මොකද ආණ්ඩුවට දරා
ගන්න බැරි තරමට රජයේ සේවකයින් හැම ආයතනයකම පුරවලා ඉන්නවා. දාහකට පඩි ගෙවන්න පුළුවන් තැන තුන්දාහක් ඉන්නවා. මමත් එක යුගයක ඒ පාප කර්මයේ කොටස්කරුවකු බවට පත්වුණා” යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සෙනසුරාදා (18) මාතරදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතර නගරයේ රාජ්‍ය බැංකුවල නව ණය නිකුත් කිරීමේ කාර්යාල විවෘත කිරීම සඳහා පැවති උත්සව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා
මෙසේද කීවේය.

“අට පාස්, දහය පාස් අයට ආණ්ඩුවේ කම්කරු රස්සාවක් කරන්නත් ඉදිරියේදී සුදුසුකම් මදිවෙනවා. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් අයත් ආණ්ඩුවේ රස්සාවක්ම බලාපොරොත්තුවෙන් හිටියොත් දිවිනසා ගන්නයි වෙන්නේ. ආණ්ඩුවේ රැකී රක්ෂා දැන් නැහැ.

අපි ඒවා දෙන එකත් එක්තරා විදියක පාප කර්මයක්. මොකද ඒ තරම් ආණ්ඩුවට දරා ගන්න බැරි තරමට රජයේ සේවකයන් හැම ආයතනයකම පුරවලා තිබෙනවා. දාහකට පඩි ගෙවන්න පුළුවන් ආයතනයක තුන්දාහක් ඉන්නවා. මමත් එක් යුගයක ඒ පාපකර්මයේ කොටස්කරුවකු බවට පත්වුණා. අපි ඇමැතිවරුන් වුණාම පාර්ලිමේන්තුවට ආවම කරන්නේ නැති වේකන්සිවලටත් පුරවනවා, පුරවනවා, පුරවනවා. එතකොට ඒ ආයතන කඩා ගෙන වැටෙනවා. අලාභ ලබන ආයතන බවට පරිවර්තනය වෙනවා. අද රජයේ හැම ආයතනයක්ම අලාභ ලබන තත්ත්වයට පත්වෙලා තියෙන හේතුව ඒකයි.

නමුත් අද රස්සාවල් ඕනෑ තරම් තියෙනවා. රස්සාවල් නැහැ කියන්නේ බොරුවක්. රස්සාවල් නැත්තේ රජයේ රස්සාවල්. නමුත් පෞද්ගලික අංශයේ රස්සාවල් ඕනෑ තරම් තියෙනවා. රජයටත් වඩා වැඩි පඩි ගෙවන රස්සාවල් තියෙනවා. ඒ විතරක් නොවෙයි අද තරුණයන්ට මම කියන්නේ මැද පෙරදිග යන්න නොවේ. කම්කරු රස්සාවක් කරන්න. මේ රට තුළ තිබෙනවා මැද පෙරදිගටත් වඩා හොඳට ගෙවන කම්කරු රස්සා. නමුත් ඒවා පිටරට ගිහින් කරනවා.

පිටරට ගිහින් කුලී වැඩ කරන අපේ කම්කරුවා තමන්ගේ රටේ ඊටත් වඩා වැඩි වැටුපකට වැඩ කරන්න ලැජ්ජයි. වැඩ කරන්නේ නැහැ. මේ යන විදියට මිත්‍රවරුනි, අපේ රටේ ඉන්න තරුණයන් අපේ රටේ රස්සා කරන්නේ නැත්නම් අපට පිටරටින් කම්කරුවන් ගේන්න සිද්ධ වෙනවා. දැනටමත් බොහෝ ආයතන කියනවා අපට මිනිස්සු නැහැ, අපේ බිල්ඩින් සයිට්වල වැඩට මිනිස්සු නැහැ කියලා. නමුත් පඩි දිහා බැලුවම ඩුබායි සවුදිවල සමහර තැන්වලට වඩා ගෙවනවා. ඒ අය අපට කියනවා චීනය, ඉන්දියාව, මියන්මාරය වැනි රටවලින් සේවකයන් ගේන්න ඉඩ දෙන්න කියලා. 

ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය ඇති වුවහොත් රට දියුණු කරන්නට අපේ තරුණයින්ගේ දායකත්වය දෙන්නේ නැත්නම් පිටරටින් හරි ඒක කර ගන්න ඔවුන් ගේන්න වෙනවා. ඔන්න ඊට පස්සේ කෑගහන්න එපා පිටරටවලින් ඇවිත් මෙහේ රස්සා කරනවා කියලා. නමුත් මේකයි ඇත්ත තත්ත්වය. මෙහේ රස්සාවල  හිඟයක් නැහැ. ඇත්ත වශයෙන්ම ලංකාවේ විරැකියාවේ ප්‍රතිශතය අවුරුදු 12කට පෙර තිබුණාට වඩා මේ වෙනකොට අඩුවී ඇති බව නවතම මහ බැංකු වාර්තාවලින් පවා හෙළිවී තිබෙනවා” යැයි ද ඇමැතිවරයා කීය.