ආචාර්ය සමන් කැලේගම දිවි සැරිය නිමා කරයි


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම මහතා අද (23) අභාවප්‍රාප්ත විය. 
මිය යන විට 58 වැනි වියේ පසුවූ ඒ මහතා ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු විය.
ආචාර්ය සමන් කැලේගම මහතා  කොළඹ රාජකීය සහ කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර ඉන්දියාවේ කාන්පූර්හි, ‘ඉන්දීය තාක්ෂණික ආයතනය’ (අයි.අයි.ටී) හිදි 1983 වසරේදී තම ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේය.
ඒ මහතා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ ශාන්ත කැතරින් පාසලෙන් ආර්ථික විද්‍යා විෂයෙන් 1985 වසරේදී විද්‍යාපති උපාධියත් 1990 වසරේදී ආචාර්ය විද්‍යා උපාධියත් ලබාගත්තේය. 
ජාතික විද්‍යා පදනමේ අධිශිෂ්‍යත්වලාභියකු වන ආචාර්ය සමන් කැලේගම මහතා 1999 සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය. 
කාර්මික සංවර්ධනය මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජනාධිපති බදු කොමිෂන් සභාව, ජාතික ආර්ථික කවුන්සිලය, ජාතික සංවර්ධන භාර අරමුදල, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, සාධාරණ වෙළෙඳාම පිළිබඳ කොමිෂන් සභාව, මානව සම්පත් සංවර්ධන කවුන්සිලය, ආදිය ඇතුළු ආණ්ඩුවේ විවිධ මණ්ඩල, කමිටු හා අධ්‍යක්ෂක මණ්ඩල කිහිපයක තනතුරු හා සාමාජිකත්වය දැරීය. 
ඉන්දු - ශ්‍රී ලංකා පූර්ණ ආර්ථික සහයෝගීත්ව ගිවිසුම සම්බන්ධයෙන් පත්කළ ඒකාබද්ධ අධ්‍යයන සමූහය, කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ කමිටුවේ ද සාමාජිකයකු වූ ආචාර්ය සමන් කැලේගම මහතා කලාපීය සහ ජාත්‍යන්තර සංවිධාන, පෞද්ගලික අංශයේ සමාගම් හා සංවිධානවලද තනතුරු හෙබවීය. 
ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදයකු සහ ප්‍රතිපත්ති උපදේශකයකු වූ ආචාර්ය සමන් කැලේගම මහතා ආර්ථික විද්‍යා විෂයයේ පුළුල් තේමා රැසක් යටතේ ජාත්‍යන්තර ජර්නල, සඟරා ආදියට ලිපි සපයන්නකු ද වූ ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයෙන් කෘති රැසක් ද සම්පාදනය කර තිබේ.