ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරගේ අවසන් කටයුතු හෙට


(කාංචන කුමාර ආරියදාස)
 
රාවණා ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ  අභාවප්‍රාප්ත වූ  ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු  හෙට (21 ) සවස 2 ට මාතලේ , වාලවෙල  ආදාහනාගාරයේදී සිදුකිරිමට නියමිත ය.

1940 වසරේ  මස 31 වන දින බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේ තිලක් රවීන්ද්‍රනාත් මිරැන්ඩෝ ඔබේසේකර නම් වූ ඔහු මෙලොව එළිය දැක තිබේ.

රාස්සගල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මිරැන්ඩෝ ඔබේසේකරයන් පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව  උසස් අධ්‍යාපනය ලබා ඇති අතර  විශ්ව විද්‍යාල කිහිපයක සහ විදේශීය විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිය  ලබා මෙරට ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මක පර්යේෂණ ග්‍රන්ථ කතුවරයකු ලෙස බොහෝදෙනාගේ ජනාදරයට පත් වූහ.
 
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්  මෙරට රාජ නාමාවලිය,  කුල භේද තත්ත්වය පාරම්පරික ගති පැවතුම් සිරිත් විරිත් නම් පෙළපත් ආදී ගවේෂණාත්මක තොරතුරු රැසක් මෙරටට සම්පාදනය කළ කතුවරයෙකි.
 

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් මෙරට පමණක් නොව විදේශීය රටවල ද සිංහල ඉංග්‍රීසි කතුවරයකු ලෙස ප්‍රසිද්ධියට  ජනාදරයට පත්ව ඇත්තේ ඔහු විසින් සම්පාදනය කරන ලද රාවණා පිළිබඳව තොරතුරු  නිසාවෙනි. රාවණා පිළිබඳව ලිපියක් ලියන ඕනෑම අයෙකු උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් මෙන්ම බොහෝ දෙනෙකු ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්ගේ පොතපත පරිශීලනය කරන්නට වූහ.
 
මිරැන්ඩෝ ඔබේසේකරයන් පදිංචිව සිටී මාතලේ මාදිපොල තලකිරියාගම ප්‍රදේශයේ නිවසට විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සහ ඉතිහාස ගවේශකයෝ නිතර නිතර පැමිණ ඔහු සමඟ සාකච්ඡා පැවත්වති. සීගිරිය කාශ්‍යප  රජු නිර්මාණය කළ එකක් නොව  විශ්‍වමුනි නම් වූ රාවණා රජුගේ පියා විසින් නිර්මාණය කළ එකක් බව ඔහු මෑත කාලයේ රට පුරා ආන්දෝලනාත්මක හෙලිදරව්වක් කිරීමද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි.
 
 ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ දේහය මේ වන විට මාදිපොල, තලකිරියාව නිවසේ තැන්පත් කොට තිබේ.