ආංශික අධීක්ෂණ කාරක සභාවේදීත් සහරාන් ගැන සාකච්ඡා කළා


(දසුන් රාජපක්ෂ)

පාර්ලිමේන්තුවේ ස්ථාපිත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන මොළකරු සහරාන් හෂීම් සහ තවුහිත් ජමාද් සංවිධානයේ අන්තවාදී ක්‍රියා පිළිබඳ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජගත් රුවන් කුමාර මහතා පාස්කු ඉරුදින බෝම්බ මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (15) ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 වසරේදී ස්ථාපිත කළ බවද ජගත් රුවන් කුමාර මහතා පැවසීය.

මෙම කාරක සභාවට ආරක්ෂක අමාත්‍යාංශය නීතිය හා සාමය අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් විෂය පථයන් ද ඇතුළත් කර තිබුණු බවද ඒ මහතා කීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කාරක සභාව රැස්වූ සෑම අවස්ථාවේදීම ඊට සහභාගි වූ බවද ජගත් රුවන් කුමාර මහතා කියා සිටියේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අසුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ස්ථාපිත විශේෂ කාර්යාලයේදී අද (15) රැස්විය.