අසර්බයිජානයේ දී මියගිය සරසවි සිසුන් ගැන පරීක්ෂණයක්


( තිළිණි ද සිල්වා )

අසර්බයිජානයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට රජයේ බලධාරීන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.

එසේම මියගිය ලාංකික සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද මේ වන විට අසර්බයිජානයේ අදාළ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.

අසර්බයිජානයේ බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමත් සමග , ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නවදිල්ලියේ අසර්බයිජාන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කොළඹ විදේශ සබදතා අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.

මියගිය ලාංකික සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ පවුල් සමඟ ද සම්බන්ධ වී ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට අසර්බයිජානයේ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින්නේ යැයිද අමාත්‍යාංශය කියා සිටී.

මේ අතර අසර්බයිජානයේ විශ්ව විද්‍යාලය ද මේ සම්බන්ධයෙන් අසර්බයිජානයේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

අසර්බයිජානයේ බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් තිදෙනෙකු සිය නේවාසික මහල් නිවාසයේ ඉකුත් 9 වැනිදා ඇති වූ ගින්නක් හේතුවෙන් ඇති වූ දුම ආශ්වාසයෙන් හුස්ම හිරවීම නිසා ජීවිතක්ෂයට පත්විණි.