(කාංචන කුමාර ආරියදාස)
මාස දෙකක් වයසැති අශ්ව පැටියකු සොරාගෙන ගිය බවට චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගකෝන් මහතා නියෝග කළේය.
දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරුවකු වන ඒ. ඩී .ප්‍රියංකර රත්නායක නැමැති අයෙකු දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් දෙදෙනා සහ සොරා ගන්නා ලද අශ්ව පැටියා ඊයේ (28 ) පස්වරුවේ අලව්වේ සිට දඹුල්ල පොලිසියට රැගෙන විත් තිබිණි.
මෙසේ බන්ධනාගාර ගත කරන ලද්දේ අනුරාධපුර පදිංචි කේ .කේ .සමන්ත පෙරේරා සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි ඒ .ඒ .එම් .කේ අලහකෝන් නමැති දෙදෙනෙකි .
මෙම සංචාරක හෝටලේ රඳවා සිටි වෙලබක මාස දෙකකට ඉහතදී පැටවෙකු ප්‍රසූත කොට තිබිණි .
ඒ අනුව දින කිහිපයකට ඉහතදී මව අසල සිටි මෙම අශ්ව පැටියා අතුරුදන් බව හෝටල් හිමියා පොලිසියට පැමිණිලි කොට තිබේ.
අශ්වයින් බලා ගන්නා පුද්ගලයෙකු මීට මාස කිහිපයකට ඉහතදී එම ආයතනයෙන් ඉවත්ව යෑම සමග ඔහු පිළිබඳව යම්කිසි සැකයක් පොලිසියට ඇතිව තිබේ.
ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා වහාම උප පොලිස් පරීක්ෂක සමිත් වීරසිංහ මහතාත් උප පොලිස් පරීක්ෂක උමේෂ් කුලසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස මෙම අශ්ව පැටියා සෙවීමේ කටයුතු සඳහා යොමු කරන්නට වූහ.
පසුව සිදුකරගෙන යන පරීක්ෂණ වලදී අශ්වයන් බලා ගැනීමේ කාර්යයේ සිට ඉවත්ව ගිය පුද්ගලයාගේ අලව්වේ පිහිටි වත්තක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී වත්තේ කෙළවරක මෙම අශ්ව පැටියා සඟවා තිබියදී සොයාගෙන තිබේ.
අශ්ව පැටියා ප්‍රවාහනය කිරීම සඳහා සහ සොරා ගෙන යෑම සඳහා තවත් පුද්ගලයකුගේ සහයෝගය ලැබී ඇති බව එහිදී පොලීසිය අනාවරණය කරගෙන තිබේ .
ඒ අනුව අනුරාධපුර පදිංචිකරුවෙක් ද පොලිස් භාරයට ගෙන ඇත.



