අවබෝධතා ගිවිසුමකට යන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් සමගි ජනබලවේගය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (04) තීරණය කළේය. කෙසේ වෙතත් එය ඒක පාර්ශ්වික තීරණයක් පමණි.
එවන් ගිවිසුමකට එළඹීමට සූදානම් බව හෝ ඊට කැමති නැතහොත් අකමැති බව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පාර්ශ්වයෙන් ප්‍රකාශයක් නොකෙරිණ.


මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ.

මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට  එක්සත් ජාතික පක්ෂයේ  නාම යෝජනා මණ්ඩලය මෙහිදී පත්කරගත් අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මහත්වරුන් එම නාමයෝජනා මණ්ඩලයේ සාමාජිකත්වය දරති.

එමෙන්ම ඉදිරි මහමැතිවරණය සඳහා අලියා ලකුණින් තරඟ කිරීමටද එහිදී තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවැසීය.

අඩියක් පස්සට තබා සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පාර්ශ්වය සමඟ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවද මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.