අවතැන් ලාංකිකයෝ දහදුකේ ඉතාලි කඳවුරු 4ක 48 දෙනෙක්


උතුරු ඉතාලියේ ඇති වූ භූමිකම්පාවත් සමග ශ්‍රී ලාංකිකයෝ 48 දෙනෙක් අවතැන්ව සිටිති. මෝදනා දිස්ත‍්‍රික්කයේ අවතැන් කඳවුරු හතරක ඔවුහු ජිවත්වෙති. ලංකාදීප එසැණ වාර්තාකරු එහි ගියේය. සන් ෆේලිවේ නගරයේ අවතැන් කඳවුරුවල අවුරුදු පහට අඩු කුඩා දරුවන් හය දෙනෙකු සමග 26 දෙනෙක් සිටිති. මිරින්දෝලා සරණාගත කඳවුරේ කුඩා දරුවන් තිදෙනෙකු හා වැඩිහිටියෝ නව දෙනෙක් මිදෝල්ලාහි පස්දෙනෙක්ද ෆිනාලේ එමිලියාහි දෙදෙනෙක්ද, බොම්පොරේතෝ කඳුවරේ තිදෙනෙක්ද සිටිති.ත මේ අතර සන් ෆේලිවේ හා මිරන්දෝලා අවතැන් කඳවුරුවල ගැබිනි කාන්තාවෝ දෙදෙනෙක් සිටිති. තව සති දෙකක් තුළ ඔවුන් දෙදෙනාම දරු ප‍්‍රසූතිය සඳහා සූදානම් විය යුතුව ඇත. ඇඳිවත පමණක් ඉතිරි වූ ඔවුන්ට කර කියාගත හැකි දෙයක් නැත. විසිවෙනිදා භූමිකම්පාව සිදුවී දින තුනකට පසු රෝමයේ ශ්‍රී ලංකා තානාපති රූපවාහිනී නාලිකාවක් සමග පැමිණ තේ කොළ පැකට් දෙකක් සමග කිරි පැකැට්ටුවක් දුන් බවත් ඉතාලි සහන සේවකයින් පිරිසක් සමග කතා කොට අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට කූඩාරම් දෙකක් ඉක්මනින් ලබාදීමට කටයුතු කළ බවත් සන් ෆේලිවේ අවතැන් කඳවුරේ ශ්‍රී ලාංකිකයෝ අප සමග කීහ. එතැන් සිට මේ වනතෙක් තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු එම ස්ථානයට ගොන් නැත. මිරන්දෝලාල මිදොල්ලාල ෆිනාලේ එමිලියාල බොම්පොර්තෝහි අවතැන් වූවන් පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයෙන් හෝ කිසිදු ශ්‍රී ලාංකික මාධ්‍යකින් එහි ගොස් නැත. තමන්ට ඉක්මනින්ම ලංකාවට යෑම සඳහා නොමිලේ ගුවන් ටිකට් පත් දෙන්නැයි රෝමයේ ශ්‍රීලංකා තානාපතිගෙන් ඔවුහු ඉල්ලති. එහෙත් ඒ පිළිබඳ කිසිදු ප‍්‍රතිචාරයක් මේ වනතෙක් නොලැබුණ බව ඔවුහු ලංකාදීප එසැණට කීහ. මේ වනවිට මෝදනා දිස්ත‍්‍රික්කයේ අධික රස්නයක් පවතී. අප එහි යනවිටද උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 37කි. කූඩාරම් ඇතුළේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 40 ඉක්මවති. අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ නිතර සොයා බලන මෝදනා මෛත‍්‍රී විහාරාධිපති මෙදිරිපිටියේ විමලරතන හිමියන් කියා සිටියේ තමන් කිහිප විටක්ම තානාපති කාර්යාලයට කතා කැර ලංකාවට යෑමට කැමැති අය සඳහා ගුවන් ටිකට් පත් ඉල්ලා සිටි බවයි.